මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධාකළ අයෙක් අත්අඩංගුවට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධාකළ අයෙක් අත්අඩංගුවට

October 27, 2024   01:26 pm

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් හැටන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 

එළැඹෙන දීපාවලී උත්සව සමය නිමිත්තෙන් තමන්ට අවැසි දෑ මිලදී ගැනීමට දිනපතා විශාල පිරිසක් හැටන් නගරයට පැමිණෙමින් සිටී. 

ඒ හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හැටන් නගරයේ ආපනශාලා ඊයේ හදිසි පරීක්ෂාවකට ලක් කළේය. 

මෙහිදී එක් ආපනශාලාහිමියෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් පරීක්ෂකවරුන්ට මරණීය තර්ජන කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන්  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හැටන් පොලිස් ස්ථානට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

එහි දැක්වෙන්නේ අදාළ වෙළෙඳසැල් හිමියා දමිල ප්‍රගතිශීලි සන්ධානයට සහාය දක්වන බවත් ඉදිරියේදී හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා තමන්බවත් පවසමින් සිය රාජකාරීයට බාධාකළ බවය. 

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආපනශාලා හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

මේ අතර අදාළ සිද්ධිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් කර තිබේ. 

එහි දැක්වෙන්නේ හැටන් පොලිස් ස්ථානයට කරඇති  පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර අනවශ්‍ය වෘත්තීය නොසන්සුන්තා ඇති නොවන සේ කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා සිටින බවය.