මුදලකට කාන්තාවක් ඝාතනය කිරීමට සිටි අයෙක් අත්අඩංගුවට

මුදලකට කාන්තාවක් ඝාතනය කිරීමට සිටි අයෙක් අත්අඩංගුවට

October 27, 2024   01:52 pm

කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවෙකු පොලිස්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල හබරාදූව මීපේ ප්‍රදේශයේ පදිංචි හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වන අදාළ සැකකරුට පසුගියදා අහංගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු එම ප්‍රදේශයේම කාන්තාවකගේ නමක් පවසා ඇයව වෙඩිතබා ඝාතනය කරන ලෙස කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබුණි.

ඒ සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති ව්‍යාපාරිකයා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී-56 වර්ගයේ ගිනි අවිවලට භාවිත කරන ජීව උණ්ඩ 6ක් ද සැකකරුට ලබාදී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු හබරාදුව මීපෙ හන්දිය ප්‍රදේශයේදී 26 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කෝටියක කොන්ත්‍රාත් මුදලින් අත්තිකාරමක් ලෙස ලබාදුන් රුපියල් 10,000 මුදලක් සොයා ගෙන ඇති අතර අදාළ ව්‍යාපාරිකයා තමාට හෙරොයින් මත්කුඩු ද ලබාදුන් බවට සැකකරු අනාවරණය කර ඇති බව පොලීසිය පැවසීය.

සැකකරු සිදුකළ ප්‍රකාශ අනුව එම ව්‍යාපාරිකයා සතුව තවත් ගිනිඅවි කිහිපයක් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරයි.

සැකකරුට ගිනිඅවි ලද ආකාරය මෙන්ම එම ගිනිඅවි වෙනත් පුද්ගලයන් වෙත ලබා දී අපරාධ සිදුකර ඇත්ද යන්න විමර්ශන සිදු කරන බවද පොලීසිය ප්‍රකාශ කළේය.

එමෙන්ම අදාළ සැකකරුට එම ඝාතනය සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් ව්‍යාපාරිකයෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

සැකකරු අද ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.