තරුණියක්ට අතවර කළ සැකකරු සොයා පොලිස් මෙහෙයුමක්
January 17, 2024 11:34 am
තරුණියක්ව රවටා කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බව පැවසෙන සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීම සඳහා ආණමඩුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
එලෙස අතවරයට ලක්ව ඇත්තේ, අවුරුදු 19ක තරුණියකි.
අදාළ සිදුවීමෙන් අනතුරුව ඇති වූ දැඩි කම්පනයෙන් ඇය කිසියම් පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් මේ වනවිට පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.
නවගත්තේගම නගරයේ පුද්ගලික ආයතනයක සේවය කරන එම තරුණිය තම මිත්තණිය සමග කුලී පදනම මත එම ප්‍රදේශයේ කාමරයක් නවාතැන් ගෙන සිට ඇත.
අවශ්‍යතාවයන් සඳහා මුදල් ලබා ගැනීමට ආණමඩුව නගරයට පැමිණි අවස්ථාවලදී සැකකරු තමන්ට හමුවු බවත්, තමා එම පුද්ගලයාව හොඳින් හඳුනන බවත් ඇය පොලීසියට පවසා ඇත.
තමාට දැඩි ලෙස ප්‍රේම කරන බව එම පුද්ගලයා පැවසු බවත් කතා කිරීමට අවශ්‍ය යැයි පවසා වැව් රවුමට කැඳවාගෙන ගොස් එහිදී මෙම අතවරය සිදුකළ බවත් ඇය පොලීසියට වැඩිදුරටත් පවසා තිබේ.
එම සිදුවීම සිදුවූ දින තරුණියගේ පියා නවාතැන් පොළට පැමිණ ඇති අතර, ඒ අනුව පියාට ඒ පිළිබඳ දැනුම්දී ඇත.
කෙසේවෙතත් මේ වන තෙක් සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නොමැත.