සාම සාධක රාජකාරී සඳහා ගිය හෙලිකොප්ටරයක් අනතුරකට ලක්වේ

සාම සාධක රාජකාරී සඳහා ගිය හෙලිකොප්ටරයක් අනතුරකට ලක්වේ

January 12, 2024   04:20 pm

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක මෙහෙයුම්වල නිරත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI 17 ගුවන් යානයක් ගොඩබෑමේදී අනතුරට ලක්ව තිබේ.

එරට වේලාවෙන් අද (12) උදෑසන 9.30ට පමණ අනතුර සිදුව ඇති අතර යානය ගොඩබෑමේදී පැවති දූවිලි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යානය අනතුරට ලක්ව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 05 දෙනෙකු යානය තුළ සිට ඇති අතර ඔවුන් සියලුදෙනා සුරක්ෂිත බව සඳහන්ය.

මේ වන විට අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීම සඳහා සිද්ධිය සිදුවූ ස්ථානයට කණ්ඩායමක් යොමුකර ඇති අතර ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පරීක්ෂණ මණ්ඩලයක් ද පත්කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේය.