ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක්

ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක්

December 19, 2024   09:11 pm

ගාල්ල බන්ධනාගාරය තුළදී අද (19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල තබා ඇති බව වාර්තා වෙයි.

ගාල්ල බන්ධනාගරයේ රඳවා සිටින අපරාධ කල්ලි දෙකක සාමාජිකයින් අතර එම ගැටුම හටගෙන තිබුණි.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ අනුර පුෂ්පකුමාර හෙවත් "බටු මීයා" නමැති අපරාධකරුගේ පාර්ශ්වය සහ කරන්දෙණිය සුද්දා නමැති අපරාධකරුගේ පාර්ශ්වය අතර ගැටුම හටගෙන ඇති බවයි.

එහිදී "බටු මීයා" නමැති රැඳවියා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

"බටු මීයා" සහ ඔහුගේ සගයින් තිදෙනා බන්ධනාගාරගත කෙරුණේ මීටියාගොඩ බෙලිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි පියෙකුට සහ දියණියකට වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

එහිදී ඔහු පොලීසියට පවසා තිබුණේ කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් තමන්ව ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවත්, ඊට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු ඉළක්ක කර වෙඩිතැබීම සිදුකළ බවටයි.

ඒ අනුව  ගාල්ල බන්ධනාගාරයට යැවුණු ඔවුන් රඳවා සිටි වාට්ටුවෙහි කරන්දෙණිය සුද්දාගේ පර්ශ්වයට අයත් සැකකරුවන් පිරිසක්ද සිට තිබුණි.

අද උදෑසන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් "බටු මීයා" සහ ඔහුගේ සගයින්ට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර ඇති බව සඳහන් ය.

අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මැදිහත්වී තත්ත්වය පාලනය කර "බටු මීයා" ඇතුලු පිරිස බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.