ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 

ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 

December 20, 2024   12:09 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 333ක මීළඟ ණය වාරිකය නිකුත් කිරීම සඳහා IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීම ඉදිරි මාස කිහිපය තුළ සලකාබලන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් ඊට අදාළ පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමෙන් පසු එම සලකා බැලීම සිදුකරන බව ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවේදී ජූලි කොසැක් මහත්මිය සඳහන් කළාය.

එසේම ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරියේදී සමාලෝචනය කරන බවත් ඇය පැවසුවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සවිස්තරාත්මක විග්‍රහය මීළඟ ණය වාරිකය අනුමත කිරීමෙන් පසු පළකරන වාර්තාවට IMF කාර්ය මණ්ඩලයේ වාර්තාවට ඇතුළත් කරන බවද ඇය කියා සිටියාය.

ප්‍ර - මගේ ප්‍රශ්නය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෝ IMF වීස්තීර්ණ ණය වැඩසටහනේ මීළඟ වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලන්නේ කවදාද? මීට පැය 24කට පෙර ශ්‍රි ලංකා ජනාධිපතිවරයා විසින් රජයේ බදු ආදායම් පිළිබඳ සංශෝධන පෙළක් ප්‍රකාශයට පත්කළා. ඒවගේම ආදායම් අදායම්වලට අදාළ තවත් සංශෝධන කිහිපයකුත් ඒ සමගම ප්‍රකාශයට පත්කෙරුණා. එම සංශෝධන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යමක් කිවහැකිද?

ජූලි කොසැක් - IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා 

"පසුගිය නොවැම්බර් 23 වැනිදා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිනුණා. එම ඇගයීම IMF විධායක අධ්‍යක්ෂතුමිය මගින් සම්පූර්ණකොට අනුමත කළ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 333කට ප්‍රවේශය හිමිවනවා. විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ එම රැස්වීම ශ්‍රී ලංකා බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමෙන් පසු ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකා රජය විසින් දැන් ප්‍රකාශයට පත්කර ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පූර්ව සමාලෝචනයක් දැන් මා සතුව නැහැ. ඒ පිළිබඳව IMF කාර්යමණ්ඩලය පූර්ව ඇගයීමක් සිදුකර, වැඩසටහනේ මීළඟ අදියරට විධායක අධ්‍යක්ෂතුමියගේ අනුමැතිය ලැබුණු පසු පළකරන වාර්තාවේ ඒ පිළිබඳව පූර්ණ සමාලෝචනයක් ඇතුළත් කරාවි".