ජූලි චන්ග් මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි
December 20, 2024 03:27 pm
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය අද (20) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා හමුවීම සඳහා බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට පැමිණියාය.
ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව වන බවත් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බවත් ජුලී චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කළාය.
තවදුරටත් එතුමිය සඳහන් කර ඇත්තේ, දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා නව රජය ගන්නා උත්සාහය අගය කරන බවත්, මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්දනය සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත්ය.
එසේම සයිබර් අවකාශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහයෝගීතාවය ලබා දීමට සූදානම් බවත් ඇය පවසා තිබුණි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ද සහභාගී විය.