මියගිය ආගමික දේශකයාගේ තවත් අනුගාමිකයෙක් වස බොයි

මියගිය ආගමික දේශකයාගේ තවත් අනුගාමිකයෙක් වස බොයි

January 5, 2024   09:14 pm

ආගමික අන්තවාදී දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න නමැත්තාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ තවත් අයෙකු වස පානය කර තිබේ.

දිඹුලාගල, සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු ප්‍රතිකාර ලබා අද (05) උදෑසන රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

දිඹුලාගල සිරිපුර පදිංචි 26 හැවිරිදි එක්දරු පියෙක් වස පානය කිරීම නිසා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඊයේ (04) ඇතුළත් කර තිබුණි.
         
සිරිපුර පොලීසිය පැවසුවේ, ඔහු 2017 සිට 2020 දක්වා රුවන් ප්‍රසන්න නැමැත්තාගේ අන්තවාදී දේශනවලට සහභාගී වී ඇති අතර රුවන්ගේ අවමංගල්‍ය උත්සවයට ද පසුගියදා සහභාගී වී ඇති බවය.

මුදල් ගැටලුවක් නිසා තමා වස පානය කළ බව එම පුද්ගලයා පොලීසියට පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිරිපුර පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර අන්තවාදී ආගමික දේශන පවත්වා දිවි හානිකරගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද දැනුම්දුන්නේය.

එම පුද්ගලයාට වෙනත් සංවිධානවලින් මුදල් ලැබී ඇත්දැයි සොයා බැලීම සඳහා මුදල් ලැබුණු ආකාරය හා එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳද විමර්ශනයක් සිදුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.