පොලීසිය වගේ සැරිසරමින් ජනතාව කොල්ලකන කල්ලියක්

පොලීසිය වගේ සැරිසරමින් ජනතාව කොල්ලකන කල්ලියක්

December 16, 2023   10:41 pm

අනුරාධපුර මරදන්කඩවල ගනේවල්පොල නගරයේ වෙළෙඳසැල්වලින් කප්පම් මුදල් ලබාගන්නා පිරිසක් පිළිබඳව අද දෙරණට තොරතුරු ලැබී තිබුණි.

ඒ අනුව, ඒ පිළිබඳ සොයාබැලීම සඳහා ප්‍රදේශයේ දුරකථන අලෙවිසැලක රහසිගත කැමරාවක් සවිකිරීමට අප උපායදූතයෙකු කටයුතු කර තිබූ අතර ඉන් අදාළ ක්‍රියාවලිය පටිගත කරගැනීමට හැකිවිය.

පෙරවරු 11.00ට පමණ වෙළෙඳසැලට පැමිණෙන පුද්ගලයෙකු ජංගම දුරකථන පහසුකම් ඔස්සේ මුදල් හුවමාරුවක් සිදුකර එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.

ඉන් පැය එකහමාරකට පමණ පසු අදාළ වෙළෙඳසැලට ඇතුළුවන පුද්ගලයින් පිරිසක් එම මුදල් හුවමාරුව සිදුකළ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පවසා දුරකථන අලෙවිසැලේ හිමිකරු බියවද්දවා තිබේ.

අනතුරුව ඔවුන් වෙළෙඳසැල් හිමිකරුට අදාළ සිදුවීම පටිගතවීම වැළැක්වීම සඳහා වෙළෙඳසැලේ සවිකර තිබෙන CCTV කැමරා පද්ධති අක්‍රිය කරන ලෙසට නියෝග කරයි.

අදාළ මත්ද්‍රව්‍ය ජාවාරමට වෙළෙඳසැල් හිමිකරු ද සම්බන්ධ බවට පවසන ඔවුන් වෙළෙඳසැල් හිමිකරු බියවද්දා ඔහුගෙන් රුපියල් 6,000ක මුදලක් ඉල්ලා සිටී.

ඒ අනුව අදාළ දුරකථන අලෙවිසැලේ හිමිකරු රුපියල් 6,000ක මුදලක් ලියුම් කවරයක දමා ලබාදීමට කටයුතු කර තිබුණි.