ඉඩම් කාර්යාල නිලධාරීන් සහ කන්තලේ ගොවීන් අතර සිදු වූ ගැටුම

ඉඩම් කාර්යාල නිලධාරීන් සහ කන්තලේ ගොවීන් අතර සිදු වූ ගැටුම

March 22, 2025   07:40 pm

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ලබාදීමට ඉඩම් කාර්යාල නිලධාරීන් ක්‍රියාකිරීමත් සමඟ ගොවීන් සහ නිලධාරීන් අතර ඊයේ (21) උණුසුම් තත්ත්වයක් ඇති විය. 

ඒ වසර 20ක කාලයක සිට තමන් වගාකළ ඉඩම් වෙනත් ගොවීන් පිරිසකට ලබාදෙන බවට තවත් පිරිසක් චෝදනා කිරීමත් සමඟයි.

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබාදෙන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගිය වසරේ පැවති සාකච්ඡාවකදීය.

ඒ අනුව අක්කර පහකට නොවැඩි ඉඩම් මෙලෙස ලබාදීමට තීරණය කළ අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණි.

කන්තලේ සීනි සමාගමට අයත් මෙම ඉඩම් වී, උඳු, බඩඉරිඟු වගාකිරීම සඳහා ගොවීන් යොදාගෙන තිබුණේ මීට වසර 20ක පමණ සිටය.

එවන් පසුබිමක කන්තලේ ඉඩම් කාර්යාල නිලධාරීන් අයැදුම්පත් හරහා නව ගොවීන් පිරිසකට අදාළ ඉඩම් බෙදාදීමට තීරණය කර තිබුණි.

නව ක්‍රමවේදය යටතේ එක් ගොවියෙකුට වගාකිරීම සඳහා අක්කර තුන බැඟින් හිමිවන අතර අදාළ ඉඩම් කට්ටි කිරීම ආරම්භ කෙරුණේ පසුගිය බ්‍රහස්පතින්දාය.

මේ පිළිබඳ දැනගත් ගොවීන් අදාළ ඉඩම් පිහිටි ස්ථානයට පැමිණීමත් සමඟ ඉඩම් කාර්යාල නිලධාරීන් සහ ගොවීන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය. 

පසුව අග්බෝපුර පොලිසියේ නිලධාරීන් ද පැමිණ සිද්ධිය පාලනය කිරීමට පියවර ගත් අතර එහිදී පුද්ගලයින් 3 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.