විශ්ව රූ රැජිනට මව් රටට ඇතුළු වීම තහනම්
December 14, 2023 10:31 am
2023 විශ්ව රූ රැජන (Miss Universe) කිරුළ දිනා ගත්තේ නිකරගුවාවෙන් ඉදිරිපත් වූ 23 හැවිරිදි ෂේනිස් පලාසියොස්ය.
ඇය විශ්ව රූ රැජන කිරුළ දිනාගත් තරගය පැවැත්වුණේ එල් සැල්වදෝරයේය. මෙම කිරුළ දිනා ගනිමින් සිය රටට විශාල කීර්තියක් දිනාදීමට ෂේනිස් සමත් වුවත් මේ වනවිට නිකරගුවා පාලකයන්ගෙන් ඇයට කෙනෙහිලිකම් එල්ල වෙමින් ඇත.
මෙම පසුබිම තුළ ෂේනිස්ට නැවත නිකරගුවාවට පැමිණීමට හැකි වේවි ද යන්න පවා සැක සහිත තත්ත්වයක් මතු වී තිබේ. එල් සැල්වදෝරයේ පැවැති විශ්ව රූ රැජින තරගයට සහභාගි වීමෙන් පසු ඇය මේ වනවිට සිටින්නේ මෙක්සිකෝවේ බව වාර්තා වේ.
ඉහත කී ගැටලුව පැන නැගී ඇත්තේ ෂේනිස් සම්බන්ධයෙන් පමණක් නොවේ. විශ්ව රූ රැජන තරගයට ඉදිරිපත් වන නිකරගුවා රූ රැජන තෝරන එරට නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂවරිය වූ කැරන් සෙලිබර්ටි ද මෙම ගැටලුවට මැදි වී සිටී.
මෙම තත්ත්වය මතුව ඇත්තේ කැරන්ට එරෙහිව පසුගිය දිනවල නිකරගුවා බලධාරීන් දේශද්‍රෝහී චෝදනා එල්ල කිරීමට පටන් ගැනීමත් සමගය.
නිකරගුවාවේ ජනාධිපතිවරයා වන්නේ ඩැනියෙල් ඔටේගාය. ඔහු සැලකෙන්නේ වාමාංශික නායකයකු ලෙසිනි. ඔහුගේ පාලනයට එරෙහිව 2018 වසරේ රට තුළ විශාල විරෝධතා ව්‍යාපාරයක් මතු විය. ඔටේගා පාලනය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය දරුණු ලෙස මර්දනය කරනු ලැබිණි. 300 දෙනෙකු පමණ මෙහි දී මරණයට පත් වූ බව සඳහන්ය. විශ්ව රූ රැජන කිරුළ දිනූ ෂේනිස්ද මෙම විරෝධතාවලට සහභාගි වී ඇති බව ඇය කිරුළ දිනාගෙන දින කිහිපයකට පසු අනාවරණය වන්නට විය.
ඒ ඇය එම විරෝධතාවලට සහභාගි වෙමින් සටන් පාඨ කියමින් සිටින අන්දම දැක්වෙන ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමගය. ෂේනිස්ට සහ කැරන්ට එරෙහිව චෝදනා එල්ල වීමට පටන්ගෙන ඇත්තේ එයින් පසුවය.
විශ්ව රූ රැජන තරගයේ දී නිකරගුවාව නියෝජනය කරන නිකරගුවා රූ රැජන තේරීමේ දී කැරන් ආණ්ඩු විරෝධී තරගකාරියන්ට වැඩි සැලකිල්ලක් දක්වා ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.
පොලීසිය පවසන්නේ කැරන්ද ඉහත කී 2018 විරෝධතාවලට සහභාගි වී ඇති බවය. ෂේනිස් විශ්ව රූ රැජන කිරුළ දිනාගත් අවස්ථාවේ නිකරගුවා රජයද ඇයට සුබ පතමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.
නමුත් පසුව රජයේ එම ස්ථාවරය වෙනස් වී තිබෙනු දැකිය හැකි විය. ෂේනිස්ගේ ජයග්‍රහණයත් සමග නිකරගුවා වැසියන් දහස් ගණනින් වීදි බසිමින් ඇයට සුබ පතමින් ප්‍රීති ඝෝෂා නගන ආකාරය ද දැකගන්නට ලැබිණි.
එම අවස්ථාවේ ඔවුන් නිකරගුවා ධජ ලෙළවමින් සිටින අයුරු ද දැකිය හැකි විය. මෙම ධජය අද වනවිට සැලකෙන්නේ 2018 වසරේ ඔටේගාගේ පාලනයට එරෙහිව ඇති වූ විරෝධතා රැල්ල සංකේතයට නගන්නක් වශයෙනි.
මේ අතර නිකරගුවා බලධාරීන් පවසන්නේ ජනතාව තුළ ආණ්ඩු විරෝධී හැඟීම් වර්ධනය කිරීම සඳහා 'දේශද්‍රෝහීන්' මෙම රූ රැජන තරග පවා පාවිච්චි කරන බවය.
ෂේනිස්ට සුබ පැතීම සඳහා ජනතාව වීදි බට අවස්ථාවේ ද මෙම කුමන්ත්‍රණකරුවන් ක්‍රියාත්මක වූ බව ඔටේගාගේ බිරිඳ වන රොසාරියෝ මුරිලෝ ප්‍රකාශ කර තිබුණාය. නිකරගුවාවේ උප ජනාධිපතිනිය ලෙස කටයුතු කරන්නේ ද මුරිලෝයි. කෙසේ නමුත් නිකරගුවා රූ රැජනක් ලොව ප්‍රධාන පෙලේ රූ රැජන තරගයකින් ජය ලැබූ පළමු අවස්ථාව මෙය වූ නිසා ෂේනිස්ගේ ජයග්‍රහණය නිකරගුවා වැසියන් තුළ මහත් ප්‍රමෝදයක් ඇති කරන්නට සමත් විය.
එල් සැල්වදෝරයේ පැවැති විශ්ව රූ රැජන තරගය නැරැඹීමට ගිය කැරන්ට නැවත නිකරගුවාවට පැමිණීමට ඉඩ දී නොමැති බව ද සඳහන් වේ. ඇයට සහ ඇයගේ දියණියට රටට ඇතුළු වීමට ඉඩ දී නොමැති බවත්, මේ නිසා ඔවුන් මෙක්සිකෝව බලා ගොස් ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබේ. ෂේනිස්ට එරෙහිව එවැනි තහංචියක් පනවා ඇති බව දැනට සඳහන් නොවේ.
නමුත් ඉදිරියේ දී කවර තත්ත්වයක් ඇති වේවි ද යන්න පැහැදිලි නැත. මාධ්‍ය තවදුරටත් සඳහන් කර තිබුණේ කැරන්ගේ සැමියා සහ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවය. ඔවුන් ද ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණවල කොටස්කාරයන් බවට පොලීසිය චෝදනා කරයි.
මෙම තත්ත්වය තුළ කැරන් නිකරගුවා රූ රැජන තෝරන ආයතනයේ අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබේ. 2018 වසරේ ඔටේගා පාලනයට එරෙහිව ජනතාව වීදි බැස තිබුණේ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ප්‍රතිපත්ති කිහිපයකට එරෙහිවය. මෙම ප්‍රතිපත්ති යටතේ බදු වැඩි කිරීම, සහන කප්පාදු කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබිණි.
විරෝධතාකරුවන්ගේ එක් සටන් පාඨයක් වූයේ ඔටේගා ඉල්ලා අස්විය යුතු බවයි. වාමාංශිකයකු වන ඔටේගා අමෙරිකානු විරෝධී කඳවුරේ නායකයෙකි. මේ නිසෙඔහුගේ පාලනයට එරෙහිව අමෙරිකානු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවට විවිධ අවස්ථාවල චෝදනා නැගිණි.
2018 වසරේ පැන නැගුණු විරෝධතාවද අමෙරිකානු කුමන්ත්‍රණයක් බවට ඔහුගේ පාලනය එකල චෝදනා කළේය.
උපුටාගැනීම - අරුණ පුවත්පත