නින්දේදීම ක්ෂණික මරණය ප්‍රාර්ථනා කරන මව්වරු

නින්දේදීම ක්ෂණික මරණය ප්‍රාර්ථනා කරන මව්වරු

November 23, 2023   03:17 pm

සති 06කට වැඩි කාලයකට පසු ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර ඇති වූ සටන් විරාම සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ එකඟතාව ක්‍රියාවට නැංවීම සිකුරාදා (24) තෙක් කල් ගොස් තිබේ. 

සිකුරාදාට පෙර ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාහැරීමක් සිදුනොවන බව ඊශ්‍රායල ජාතික ආරක්ෂක උපදේශකයා ප්‍රකාශයට පත්කළේය .

අමෙරිකා එක්සත් ජනපදයත් පසුව එය තහවුරු කළේය. 

මේ නිසා අද දිනයේ පිරිසක් නිදහස ලබනු ඇතැයි අපේක්ෂා කළ ඔවුන්ගේ නෑ හිතවතුන්ගේ බලාපොරොත්තු බිඳවැටී ඇති බව සඳහන් ය. 

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ඊයේ එකඟ වුයේ ගාසා තීරයේ දින 04ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම මෙන්ම හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කිරීම සහ ඊශ්‍රායලය සිය බන්ධනාගාරවල රඳවාගෙන සිටින පලස්තීන රැඳවියන්ගෙන් කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු මුදාහැරීමට ය. 

එමෙන්ම එම කාලය තූළ ගාසා තීරයට මානූෂීය ආධාර සහ ඉන්ධන සඳහා ප්‍රවේශයක් ලබාදීමටත් ඊශ්‍රායලය එකඟවුණි. 

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සාකච්ඡා දැන් ඉහළ මට්ටමකට පැමිණ ඇති බවත් එම සාකච්ඡා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ය.

ඒ අනුව ප්‍රාණ ඇපකරුවන් මුදාහැරීම දෙපාර්ශ්වය අතර ඇති වූ මුල් එකඟතාවට අනුව සිදුවනු ඇති බවත් එය සිකුරාදා තෙක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය. 

ගිවිසුම ක්‍රියාත්මක කිරීම පමාවීමට හේතුව අවිනිශ්චිත වන අතර එක්සත් ජනපද ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශිකාව සඳහන් කළේ එය ක්‍රියාවට නැවීම සිකුරාදා උදෑසන සිට ආරම්භ වනු ඇති බවයි. 

හමාස් සංවිධානය පාර්ශ්වයෙන් පමාව සම්බන්ධයෙන් කිසිවක් පවසා නැතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචිමාර්ග උපුටා දක්වමින් ඊශ්‍රායල මාධ්‍ය සදහන් කළේ තමන් රඳවාගෙන සිටින පුද්ගලයන්ගේ ලැයිස්තුව හමාස් සංවිධානය විසින් ලබාදී නොමැති බවයි. 

කෙසේ නමුත් මෙම පමාව සම්බන්ධයෙන් ප්‍රාණ ඇපකරුවන්නේ ඥාතීන් දැනුවත් කර නොමැත.

සටන් නැවතීමක් ප්‍රකාශයට පත්කරනු ලැබුවද, එම සටන් විරාමය ක්‍රියාවට නැංවීමට පෙර අද දිනයේත් ඊශ්‍රායල හමුදා ප්‍රහාර ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි. 

ගාසා තීරය උතුරු කොටසට පමණක් නොව දකුණු දිග ඛාන් යුනිස් නගරය කේන්ද්‍රකොට ගෙන ඊයේ රාත්‍රියේත් අඛණ්ඩව ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙයි. 

ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් ඛාන් යුනිස් නගරයේ පලස්තීනුවන් 15දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.  

ජබාලියා සහ නුසෙයිරට් සරණාගත කඳවුරු ඇතුළු ගාසා තීරයේ අනෙකුත් ප්‍රදේශ වෙත ද ඊශ්‍රායල ප්‍රහාර ක්‍රියාත්මක වී ඇති බව සඳහන් ය.

දින 48ක් තිස්සේ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 14,000 ඉක්මවා ඇති අතර ඉන් 40%ක් පමණ ළමුන් වෙයි. 

පටු ගාසා තීරයේ සියලුම සුසාන භූමි මේ වනවිට පිරී ඉතිරී ගොස් ඇති නිසා පලස්තීනුවන්ගේ සිරුරු දකුණු දිග ගාසා තීරයේ ඛාන් යුනිස් නගරය ආසන්නයේ සමූහ මිනීවළක වැළලීමට ඊයේ පියවර ගැනුණි. 

උතුරුදිග ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ මියගිය පලස්තීනුවන්ගේ සිරුරු ද මිහිදන් කිරීම සඳහා එහි රැගෙනවිත් තිබූ බව වාර්තා වෙයි. 

එම පලස්තීනුවන්ගේ සිරුරු හඳුනාගැනීමට ද කටයුතු යොදා නොතිබූ බව සඳහන්ය. 

පොලිතින් කවරවල බහාලු එම සිරුරු, යන්ත්‍රානුසාරයේ හෑරූ දිග වැලි අගලක බහා මිහිදන් කෙරුණු අතර ඇතැම් සිරුරුවල ලේ සලකුණු පවා සටහන්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ඇතැම් සිරුරු ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය කුඩා ළමුන්ගේ සිරුරු බව සඳහන් විය. 

ඔවුන්ට සමුදීමට කිසිවෙකු නොසිටි බවත් එම සිරුරු නමින් නොව අංකයකින් පමණක් සලකුණු කර තිබූ බවත් වාර්තා වෙයි. 

අල් ෂිෆා රෝහලේදී ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය අයගේ සිරුරු මෙන්ම ජබාලියා සරණාගත කඳවුර ආසන්නයේ පිහිටි ඉන්දුනීසියානු රෝහලේ මියගිය පිරිස්වල සිරුරුද මෙම සමූහ මිනීවලේ මිහිදන්කර තිබේ. 

ඉන්දුනීසියානු රෝහලේ සිට දකුණු දිග ගාසා තීරයේ රෆා වෙත ගොස් සිටි කාන්තාවක් පවසා ඇත්තේ මළ සිරුරු සෑම තැනකම වීසිරී ඇති අයුරු තමන් දුටු බවයි. 

තුවාල ලැබූවන් අධික ලෙස ලේ වහනය වී තම ඇස් ඉදිරිපිටම මියගිය බවත් ඇය පවසා තිබුණාය. 

ගාසා තීරයට විදුලිය සහ ඉන්ධන සැපයීම නතර කිරීම නිසාද ගාසා තීරයේ රෝහල්වල රෝගීන් මියයාම සිදුවු අතර, ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පිරිස ඇතුළු පලස්තීනුවන් 179 දෙනෙකුගේ සිරුරු පසුගිය නොවැමිබර් 14 වැනිදා අල් ෂිෆා රෝහල් පරිශ්‍රයේ සමූහ මිනීවලක මිහිදන් කළේය. 

මේ අතර පලස්තින ගාසා තීරය ලෝකයේ ළමයින්ට අනතුරුදායකම ප්‍රදේශය ලෙස යුනිසෙෆ් මගින් නම් කර තිබුණි. 

යුනිසෙෆ් විධායක ආරක්ෂක මණ්ඩලය වෙත පවසා ඇත්තේ ගත වූ සති 06ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තින ළමුන් 5,300කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. 

ඊශ්‍රායල - පලස්තීන නවතම ගැටුම්වල ඛේදනීය වින්දිතයන් බවට පත්ව ඇත්තේ ළමයින් බව ඇය පෙන්වා දුන්නාය.

ඇතැම් ළමුන්ගේ ජීවිත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති අතර ඇතැමුන්ගේ ජීවිත සදහටම අඳුරු වී තිබේ. 

ගැටුම් නතර කිරීමක් සහ මානුෂීය ආධාරවලට පූර්ණ ප්‍රවේශයක් ලබාදීමකින් තොරව තත්ත්වය තවදුරටත් දරුණු වනු ඇති බව යුනෙස්කෝ විධායක අධික්ෂිකාව සඳහන් කළාය. 

ගාසා තීරයේ ළමුන් මුහුණදෙන ප්‍රචණ්ඩත්වය විනාශකාරී, නිර්දය සහ සීමාකොට දැක්විය නොහැකි තරම් වූ ඛේදවාචකයක් ලෙස යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂිකා කැතරීන් රසෙල් හැඳින්වුවාය. 

ගාසා තීරයේ මවුවරුන්, සාමය උදෙසා යාඥා කරන බවත්, එහෙත් සාමය උදානොවන්නේ නම් නින්දේදී ක්ෂණික මරණයක් උදෙසා යාඥාකරන බවත්, යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂවරිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ පැවසුවාය.

තම දරුවන් ඇකයේ හොවාගෙන එම ප්‍රාර්ථනයේ නින්දට යන ගාසා තීරයේ මවුවරුන් ගැන ලොව ඕනෑම ස්ථානයක සිටින මවුවරුන් ලැජ්ජාවට පත්විය යුතු බව ඇය සඳහන් කළාය.