කොටස් වෙළෙඳපොළේ ලොකු පිම්මක්

කොටස් වෙළෙඳපොළේ ලොකු පිම්මක්

January 2, 2025   03:31 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමුවරට අද (2) ඒකක 16,000 සීමාව ඉක්මවා ගියේය.

2024 වසරේදී ද කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් විය.

ඉන් ගෙවුණු මාස 3ක කාලය තුළ දිගින් දිගටම වර්ධනයක් පෙන්නුම් කළේය.

නොවැම්බර් 13 වනිදා සියලු කොටස් මිල දර්ශකය පළමුවරට ඒකක 13,000 පසුකළ අවස්ථාවෙන් පසුව අඛණ්ඩව එම වාර්තාව අලුත් විය.

ඒ අනුව දෙසැම්බර් 12වනදා ඒකක 14,000ක් වාර්තා වූ අතර, දෙසැම්බර් 23 වනදා ඒකක 15,000 සීමාව පසු කළේය.

එම දර්ශකය අද ඒකක 16,000 සීමාව ඉක්මවා ගියේ ඉතිහාසයේ පළමු වරටය.

ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 403.94කින් ඉහළ ගොස්, ඒකක 16,348.55ක් ලෙස සටහන් විය.

අද දින රුපියල් බිලියන 12.86ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම ද විශේෂත්වයක්ය.