දානපතියන්ට සෞඛ්‍ය ඇමති කී දේ

දානපතියන්ට සෞඛ්‍ය ඇමති කී දේ

January 2, 2025   01:41 pm

සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කරන බව සෞඛය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මෙරට රජයේ රෝහලක් තුළ ඉදි කරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය අද (02) මහරගම අපේක්ෂා රෝහලේදි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රජයක් ඉල්ලුවොත් මුදල් දෙන තැනක්. කතරගම දෙයියෝ නෙමෙයි තිස්තුන් කෝටියක් දෙවිවරු දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් හැම වසරකම වෙන් කරනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කරනවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශීය ධානපතියන් හරහා ඒ වගේම අපේ අමාත්‍යාංශය හරහා විදේශීය ජාත්‍යන්තර ආයතනවල අනුග්‍රහය යම් යම් කාලවලදී ලැබෙනවා. අපි කරන්න සුදානම් වෙන්නේ මේ සියලු ප්‍රතිපාදන යම් ආකාරයකට විධිමත්ව, සැලසුම් සහගතව යෙදවීමට කටයුතු කරන එක. මින් ඉදිරියට දේශපාලන උවමනාව මත හෝ කාට හරි රෝහලක් බලලා හිතේ ඇති වෙන සංවේදී සිතුවිල්ලට උදව් කරන්න බෑ. ඉදිරි අවුරුදු 20 ගැන සළකලා බලලා ජාතික සැලැස්මක් අනුව තමා මේ සංවර්ධන කටයුතු කරන්නේ. අපේ මන්ත්‍රීවරුන්ටත් තමන්ගේ ප්‍රදේශයේ රෝහල මහ රෝහලක්, ජාතික රෝහලක් දක්වා දියුණු කරගන්න හීන තියෙන්න පුළුවන්. නමුත් ඒ හීන කොතරම් ජාතික සැලැස්ම එක්ක ගැලපෙනවා ද කියන එක සලකා බලමින් තමා මෙතැනින් එහාට අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ."