ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික පවුලකට ප්‍රහාරයක්

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික පවුලකට ප්‍රහාරයක්

November 13, 2023   08:53 pm

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පවුලකට කණ්ඩායමක් විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචි තුසිත මහතා ඔහුගේ බිරිඳ වන නිලන්ති මහත්මියයි.

ඔවුන්ට පහරදීම සිදුවන අවස්ථාවේ ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා සහිත දැරියද එම ස්ථානයේ සිට ඇත.

මෙම පහරදීමත් සමග දැරිය දැඩි කම්පනයකට පත්ව ඇති බවද තුසිත මහතා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

මේ අතර අදාළ පහරදීම සිදුව ඇත්තේ Ballarat පොලිස් ස්ථානය සමීපයේ බවත් එම නිලධාරීන් පහරදීමට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක නොවූ බවටත් තුසිත මහතා චෝදනා කර සිටී.

එසේම පහරදීම සිදුව ඇති ස්ථානයේ CCTV කැමරා ක්‍රියාත්මක නොවන බව පොලිස් නිලධාරීන් විසින් ඔහුට දන්වා ඇත.

වසර 10කට ආසන්න කාලයක් මෙල්බර්න් හි වාසය කරන තමන් මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවද ඒ මහතා පවසා ඇත.

මේ අතර ඔස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකශ කර සිටින්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් Ballarat නගරාධිපතිවරයා ද සිය අප්‍රසාදය පළකර ඇති බවය.