ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින්ට කුඩම්මාගේ සැලකිලි

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින්ට කුඩම්මාගේ සැලකිලි

May 17, 2025   04:16 pm

නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති රග්බි තරග දෙකේදී අනුග්‍රාහකයින් රැසක් ඉදිරිපත් වුවද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සාධාරණ ගෙවීමක් සිදුකර නොමැති බව වාර්තා වෙයි.

වසර 118කට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුණේ ශ්‍රී ලංකා රග්බි පිටියට යළි පිබිදීමකට එක්කරමින්ය.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මේවනවිට ආසියානු රග්බි ශූරතා තරගාවලියේ ප්‍රධාන කණ්ඩායම 4 අතරට ද සුදුසුකම් ලබාසිටින පසුබිමක රග්බි ක්‍රීඩකයන්ට සිදුකළ ගෙවීම් පිළිබඳ වාර්තාවන පුවත් නම් ඉතා කනගාටුදායකය.

නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර පැවති තරගයේදී එක් තරගයක් වෙනුවෙන් ක්‍රීඩකයෙක්ට රුපියල් 3000ක මුදලක් ලබාදී ඇති අතර එක් ක්‍රීඩකයෙකුට පුහුණු සැසියකට ලබාදී ඇත්තේ රුපියල් 500ක මුදලක් බව වාර්තා වෙයි.

නමුත් මෙම තරග දෙක වෙනුවෙන් අනුග්‍රාහකයින් රැසක් ඉදිරිපත් වුවද ක්‍රීඩකයන්ට මෙලෙස කුඩම්මාගේ සැලකිලි සිදුකිරීම කොතරම් දුරට සාධාරණද යන ගැටලුව අපට මතුවෙයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන රග්බි  ක්‍රීඩකයන්ට සිදුකරන ගෙවීම් සම්බන්ධයෙන් ඇති නීත්‍යානූකූල තත්වය පිළිබඳ හිටපු රග්බි බලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන්  කළේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය නීත්‍යානුකූලව බැඳි නොමැති බවය.

ඊට හේතුව ජාතික කණ්ඩායම නියෝජනය කරන කිසිඳු ක්‍රීඩකයෙක් රග්බි ව්‍යවස්ථාවට අනුව ගිවිසුමකට හෝ කොන්ත්‍රාත්තුවකට ඇතුළත් නොවීන හේතුවෙන්ය.

මේ අතර මෑත කාලයේ රග්බි ජයග්‍රහණ රැසක් වෙනුවෙන් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පුහුණු කළ ප්‍රධාන පුහුණුකරු සනත් මාර්ටීස් පෞද්ගලික කරුණක් හේතුවක් මත පවසමින් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.