ඊශ්‍රායල - හමාස් ගැටුම් හමුවේ බොරතෙල් මිල ගැන පුරෝකථනයක්

ඊශ්‍රායල - හමාස් ගැටුම් හමුවේ බොරතෙල් මිල ගැන පුරෝකථනයක්

November 1, 2023   04:34 pm

ඊශ්‍රායල - හමාස් ගැටුම මැදපෙරදිග කලාපය පුරා පැතිරුණ හොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 150ක් දක්වා ඉහළ යා හැකි බව ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.

එහි දී ලොවපුරා ඉන්ධන මෙන්ම ආහාර වර්ගවල මිල ගණන් ද ඉහළ යා හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.

රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භයේ දී මේ ආකාරයෙන් තෙල් සහ ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාමක් දක්නට ලැබිණි.

කෙසේ නමුත් වර්තමාන මැදපෙරදිග අර්බුදයේ දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක මට්ටමේ ස්ථාවර ව පවතින අතර, එය සුළු වශයෙන් පහත වැටිය හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් ගේ මතය වී තිබේ. 

එහෙත් ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් වීමේ හැකියාවක් පවතින බවයි.

මැදපෙරදිග ඉතා දරුණු ගැටුම්කාරී තත්ත්වයක් පැන නැගුණ හොත් 1970 දශකයේ ඇති වූ තෙල් අර්බුදයේ දී මෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 140ත් 157ත් අතර මිලක් දක්වා ඉහළ යා හැකි බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

වර්තමාන ඊශ්‍රායලයේ සීමාවන් තීරණය කෙරුණු 1973 අරාබි - ඊශ්‍රායල යුද්ධයේ දී අරාබි රටවල් ඊශ්‍රායලයට සහාය වූ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලට සිදු කෙරෙන අපනයන සීමා කිරීමත් සමඟ එලෙස ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය.

වර්තමාන අර්බුදය හමුවේ වුව ද ගෝලීය තෙල් සැපයුම දිනකට තවත් බැරල් මිලියන 500,000 සිට මිලියන 02ක් දක්වා පහළ වැටුණ හොත් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 93 සිට 102 දක්වා ඉහළ යා හැකි බව ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඉන්ඩර්මිට් ගිල් පෙන්වා දෙයි.