සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 37ක් නාවික හමුදා භාරයට
October 29, 2023 09:12 am
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 37 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (28) රාත්රියේ සහ අද (29) අලුයම මන්නාරමට ඔබ්බෙන් හා යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුම්වල දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
එහි දී ඉන්දීය ධීවර යාත්රා 05ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් සහ යාත්රා ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දුන් බව නාවික හමුදාව පැවසීය.
මේ වසරේ ගත වූ කාලය තුළ මෙරට මුහුදු සීමාවේ සිදු කළ මෙහෙයුම්වල දී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්රා 27ක් සහ ධීවරයන් 174 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බව ද සඳහන්ය.