අමෙරිකාව ඇතුළු සමස්ත බටහිර ලෝකයට පුටින් ගෙන් අනතුරු ඇඟවීමක්
October 6, 2023 03:57 pm
මාස 19ක් ගත වී ඇති යුක්‍රේන යුද්ධයේ වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් සිදු කළ තනි ප්‍රහාරය, ඊසාන දිග යුක්‍රේනයේ, කාර්කිව් කලාපයේ ‘හරෝසා‘ නැමැති ගම්මානයට එලල් වූ බව යුක්‍රේන ජනාධිපති වොලොඩොමීර් සෙලෙන්ස්කි සඳහන් කරයි.
රුසියානු ‘ඉස්කන්දර්‘ බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් ලෙස සැලකෙන එම ප්‍රහාරයෙන් යුක්‍රේන සොල්දාදුවෙකු ගේ සිරුර යළි මිහිදන් කිරීමේ අවස්ථාවට සහභාගී වී සිටි 51 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව යුක්‍රේන බලධාරීහු ප්‍රකාශ කරති.
ඊයේ (05) සන්ධ්‍යාවේ එල්ල වූ මේ මිසයිල ප්‍රහාරයෙන් එහි අවන්හලක් සහ වෙළෙඳසලක් විනාශයට පත් වී ඇති අතර, සුන්බුන් අතර සිර වූ මළසිරුරු ඉවත් කරගැනීමට යුක්‍රේන හමුදා කටයුතු කළ බව විදෙස් වාර්තා අවධාරණය කරයි.
වෙනත් ප්‍රදේශයක සටන්වල දී මිය ගිය යුක්‍රේන සොල්දාදුවෙකු ගේ සිරුර ඔහු උපන් ගම්මානයේ යළි මිහිදන් කිරීමෙන් පසු ආහාර ගැනීම සඳහා අවන්හලට පැමිණි පිරිස මෙම ප්‍රහාරයට ගොදුරු වූ බව සඳහන්ය.
මිය ගිය 51 දෙනා අතර 06 හැවිරිදි පිරිමි ළමයෙකු ද සිටින අතර, තවත් 06 දෙනෙකු තුවාල ලබා තුන් දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
ඊයේ, සිය රාත්‍රී වීඩියෝ ප්‍රකාශය ඉදිරිපත් කරමින් යුක්‍රේන ජනාධිපති සෙලෙනිස්කි ප්‍රකාශ කර ඇත්තේ, මෙය රුසියාව අහම්බෙන් එල්ල කළ ප්‍රහාරයක් නොවන බවයි.
යුක්‍රේන ජනාධිපතිවරයා ඊයේ සිය දෛනික වීඩියෝ ප්‍රකාශය සිදු කළේ, ස්පාඤ්ඤයේ පැවැත්වෙන යුරෝපා ප්‍රජාවේ සමුළුවකට සහභාගී වන අතරතුරය.
කෙසේ නමුත් තමන් සිතාමතා සිවිල් ඉලක්කවලට ප්‍රහාර එල්ල නොකරන බව රුසියාව අවධාරණ කර ඇත.
එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුසියාව වහා ප්‍රතිචාර දක්වා නැති බව වාර්තා වේ.
රුසියාව යුක්‍රේනයේ බලශක්ති, ආරක්ෂක, වරාය, ධ්‍යාන ගබඩා සහ අනෙකුත් පහසුකම් මෙන්ම නිවහන් ගොඩනැඟිලිවලට ද ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාවක් පිළිබඳ මීට පෙර වාර්තා වී තිබේ.
ඊයේ මෙම ප්‍රහාරය එල්ල වූ ගම්මානය පිහිටා ඇත්තේ, යුද්ධයේ ඉදිරි පෙරමුණට ආසන්නවය.
එය යුක්‍රේන හමුදා පසුගිය වසරේ යළි අත්පත් කරගත් ‘කුපියන්ස්ක්‘ නගරය ආසන්නයේ පිහිටා ඇත.
යුද පෙරමුණට ආසන්න නිසා ඉවත් වීමට උපදෙස් ලබාදුන්න ද සිවිල් ජනයා එහි තවදුරටත් රැඳී සිටි බවත් යුක්‍රේන බලධාරීහු සඳහන් කරති.
මේ අතර, රුසියාව මීළග පරම්පරාවේ උපක්‍රමීය න්‍යෂ්ටික මිසයිලය සාර්ථක ලෙස අත්හදා බැලූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කරයි.
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන, න්‍යෂ්ටික අවි එල්ල කළ හැකි බුරෙවෙස්ට්නික් (BUREVESTNIK) නැමැති මෙම මිසයිලය සැතපුම් දහස් ගණනක් දුර ඉලක්කයකට වුව ද යොමු කළ හැකි බව ජනපති පුටින් සඳහන් කර ඇත.
විශ්ලේෂකයන් සහ මාධ්‍යවේදීන් සමඟ රුසියානු ජනාධිපතිවරයා වාර්ෂික ව පවත්වන හමුවට එක්වෙමින් ජනපති පුටින් වැඩිදුරටත් කියා ඇත්තේ, මීළඟ පරම්පරාවේ න්‍යෂ්ටික අවි අතරට ගැනෙන ‘සර්ටාට්‘ අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල පද්ධතිය ද නිම කිරීමට ආසන්න බවයි.
යුක්‍රේන යුද්ධයේ ආරම්භයේ පටන්ම රුසියාවේ න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් අනතුරු ඇඟවූ ජනපති පුටින් ඊයේ නැවතත් අවධාරණය කළේ, පියවි සිහියක් ඇති කවරකු හෝ රුසියාවට එරෙහි ව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල නොකරනු ඇති බවයි.
එවැනි එක් ප්‍රහාරයක් හෝ හඳුනාගත හොත් සිය ගණනක් රුසියානු න්‍යෂ්ටික මිසයිල ගුවනට පිවිසෙනු ඇති බවත් එහි දී එක් සතුරෙකුට හෝ තවදුරටත් පැවතීමේ අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් ජනපති පුටින් ප්‍රකාශ කළේ, අමෙරිකාව ඇතුළු සමස්ත බටහිර ලෝකයට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරමිනි.
සෝවියට් සංගමය බිඳවැටීමට පෙර වසරේ එනම් 1990 දී සිදු කළ අත්හදා බැලීමට පසු රුසියාව න්‍යෂ්ටික පිපිරවීමක් සහිත අත්හදා බැලීමක් සිදු කර නැත.
න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුමට අමෙරිකාව සහ රුසියාව අත්සන් තබා රුසියාව එය පිළිපදිනු ලැබුව ද අමෙරිකාව ඊට අනුකූල ව කටයුතු කර නොමැති බව ජනපති පුටින් ඊයේ ප්‍රකාශ කළේය.
රුසියාව හෝ අමෙරිකාව විසින් හෝ රටවල් දෙක විසින්ම මේ අවස්ථාවේ න්‍යෂ්ටික අත්හදාබැලීමක් සිදු කිරීමට භූ දේශපාලනයේ අතිශය අස්ථාවරත්වයක් ඇති කරන බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
රුසියාව සහ අමෙරිකාව එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික උණුසුම මේ වනවිට වසර 60කින් පහත්ම අඩියට පත් ව තිබීම ඊට හේතුව බව සඳහන්ය.
කෙසේ නමුත් තම රටට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වීමේ දී හෝ රාජ්‍යයේ පැවැත්මට තර්ජනයක් එල්ල වන අවස්ථාවක දී මිස න්‍යෂ්ටික අවි භාවිත නොකිරීමේ සිය ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව රුසියානු ජනාධිපති පුටින් අවධාරණය කරයි.