IMF පළමු සමාලෝචනය අද
September 14, 2023 08:07 pm
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 03ක විස්තීරණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය අද (14) ආරම්භ විය.
ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 03ක පහසුකම සඳහා ශ්‍රී ලංකාව නිර්දේශ වූ අතර, එහි පළමු වාරිකය ඉකුත් මාර්තු මාසයේ දී හිමි විය.
ඒ අනුව මාස 06කට පසු එහි පළමු සමාලෝචනය සඳහා එම අරමුදලේ නිලධාරීන් කණ්ඩායම් දෙකක් ඊයේ සහ අද අලුයම මෙරටට පැමිණියහ.
එම නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර සාකච්ඡා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟ සති දෙකක කාලයක් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මෙම සමාලෝචනයට අදාළ අවසන් සාකච්ඡාව පැවැත්වීමට නියමිත ව ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟයි.
මේ අතර, මුදල් අමාත්‍යාංශය සිදු කළ ආරාධනයට අනුව, දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන යටතේ සිය භාණ්ඩාගාර බැඳුම්කර කලඹ හුවමාරුව සඳහා ඉදිරිපත් කළ බව සේවක අර්ථසාධක අරමුදල සිය සාමාජිකයන්ට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් අනතුරු ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය සහිත සුදුසුකම්ලත් සහභාගිකයකු ලෙස මෙලෙස ඉදිරිපත් කර ඇති බවයි.
මේ අතර, දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට තබමින් සුදුසුකම් ලත් පිළිගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ක්‍රමයෙන් අඩු වෙන ස්ථාවර කූපන් පොළී අනුපාතික සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් මඟින් පියවීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.