ඝාතනයට ලක් වූ මනෝ උපදේශකවරියගේ සිරුර තවමත් මෝචරියේ
September 10, 2023 08:55 pm
තලංගම ලැගුම්හලකදී ඝාතනයට ලක් වූ මනෝ උපදේශකවරියගේ අනන්‍යතාවය හෝ ඝාතකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව තලංගම පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ, ඒ හේතුවෙන් සුජාතා මුණසිංහ මානාභරණ නැමති මනෝ උපදේශකවරියක ගේ සිරුර දින 8ක් පුරා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත බවය.
මෙම කාන්තාව අගෝස්තු මස 26 වනදා පුද්ගලයකු සමග තලංගම ලැගුම්හලට පැමිණ තිබුණි.
පසුව ඇය සමග පැමිණි පිරිමි පුද්ගලයා පසුගිය 03 වනදා ලැගුම්හලින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව 03 වනදා දහවල් කාලයේ සිට කාන්තාව පෙනීමට නොසිටී බැවින් ලැගුම්හලේ සේවකයන් විසින් ඉන් පසුදිනයේ කාමරයේ දොර කඩා සොදිසි කර තිබුණි.
එහිදී කැපුම් තුවාල සහිතව මෙම කාන්තාවගේ සිරුර කාමරයේ ඇඳ මත තිබෙන අයුරු දැක ඒ සම්බන්ධයෙන් ලැගුම්හලේ සේවකයන් පොලීසියට දැනුම් දී ඇත.
ඝාතනයට ලක් වූ මෙම මනෝ උපදේශකවරිය, යුද්ධය පැවති සමයේ පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය නැංවීම සඳහා මනෝ උපදේශන කටයුතුවල නියැළුණු තැනැත්තියක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඒ බව සනාථ වන ඇයගේ ඡායාරූප සමග පළ වූ පුවත්පත් වාර්තා කිහිපයක් ද එම ලැගුම් ගෙන සිටි කාමරේ තිබී පොලීසියට හමුවී ඇත.
එම කාන්තාව රැඳී සිටි බව කියන වීරකැටිය, හපුතලේ හා උනවටුන ආදී ප්‍රදේශවලින් ද ඇය පිළිබඳ තොරතුරක් දන්නා පුද්ගලයන් හමු වී නොමැති අතර ඇය පරිහරණය කළ ජංගම දුරකථන සිම් කාඩ්පත ද ලබා ගෙන ඇත්තේ වෙනත් පුද්ගලයෙකුගේ හැඳුනුම්පතකට බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මනෝ උපදේශකවරියව ඝාතනය කළ බවට සැක ඇගේ සැමියා යැයි පැවසෙන පුද්ගලයා පොලීසියට ලියන ලද පිටු පහකින් යුත් ලිපියක් ද ලැගුම්හලේ කාමරයේ තිබී පොලිසියට හමුව තිබුණි.
ඝාතකයා ඇගේ ගෙල කැපීම සඳහා උපයෝගි කරගත් තියුණු ආයුධය බත්තරමුල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලකින් මිලදී ගත් බවට සඳහන් බිල්පතක් ද පොලීසිය මේ වනවිට සොයාගෙන ඇත.
ඒ අනුව එම පුද්ගලයා හඳුනාගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලීසිය පවසයි.