ඉන්දියාවේ නිල නාමය පිළිබඳ කතාව තීව්‍ර අතකට

ඉන්දියාවේ නිල නාමය පිළිබඳ කතාව තීව්‍ර අතකට

September 6, 2023   05:29 pm

ඉන්දියානු රාජ්‍යය සිය නාමය භාරත් ලෙස වෙනස් කිරීමට සූදානම් ව සිටින බවට ආන්දෝලනාත්මක පුවතක් මතු ව තිබේ.

ඒ, නුදුරේදීම ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත G20 රාජ්‍ය නායක සමුළුවේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ආරාධනා පත් යැවීමේ දී එරට ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු, භාරතයේ ජනාධිපතිනිය ලෙස දක්වා යැවූ අවසර පත්‍රයක් මුල් කරගෙනය.

නිල උත්සවයක් සඳහා ඉන්දියාව වෙනුවට භාරතය යන යෙදුම භාවිත කළ පළමු අවස්ථාව මෙය බව සඳහන්ය.

මෙය G20 සමුළුවේ කටයුතු සඳහා භාරතය යන නාමය යොදාගත් පළමු අවස්ථාව නො වන අතර, එහි සඳහන් පත්‍රිකා නිකුත් කිරීමේ දී භාරතය, ප්‍රජාතන්ත්‍රවාදයේ මව, ලෙස භාවිත කර තිබිණි. 

භාරතය යනු, ඉන්දියාව භාවිත කළ පළමු නිල නාමය බවත් එය ව්‍යවස්ථාවේ පවා සඳහන් බවත් එම පත්‍රිකාවල වැඩිදුරටත් පැහැදිලි කර තිබීම ද විශේෂත්වයකි.

එමෙන්ම ඉන් අනතුරුව සිය ඉන්දුනීසියානු නිල සංචාරය නිවේදනය කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි පළ කළ සටහනේ ද දැක්වුණේ, භාරත අගමැතිවරයාගේ ඉන්දුනීසියානු සංචාරය ලෙසයි.

එය නිකුත් කර තිබුණේ, භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක සම්බිතා පැට්‍රා විසිනි.

භාරතය යන වදන ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු ව්‍යවස්ථාවේ ද සඳහන් ව ඇති අතර, එහි දැක්වෙන්නේ ඉන්දියාව යනු භාරතය බවයි.

කෙසේ නමුත් එහි 77 වැනි ව්‍යවස්ථාවේ ඉන්දියානු රජය යන වදන පැහැදිලිව සඳහන් ව තිබේ.

එමෙන්ම එහි 52 වැනි ව්‍යවස්ථාවේ ද දැක්වෙන්නේ, ඉන්දියාවේ ජනාධිපති ලෙස මිස භාරතයේ ජනාධිපති ලෙස නොවේ.

පළමු ව්‍යවස්ථාව උපුටා දක්වන ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ, භාරතය යනු ඉන්දියාව බවයි.

ඒ හේතුවෙන් ව්‍යවස්ථාවේ අනෙක් ස්ථානවල දක්වා ඇති කරුණු වැදගත් නොවන බව ඔවුහූ පවසති.

මේ අතර රටේ නම, භාරතය ලෙස වෙනස් කිරීම සඳහා වන කෙටුම්පතක් ලබන 18 සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ඉන්දිය පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය අතරතුර සාකච්ඡාවට ගැනීමට නියමිත බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

රජය විසින් ඉන්දියාව සහ භාරතය යන නම් දෙකම භාවිත කිරීමට උත්සාහ කරනවා ද නැත්නම් භාරතය යන නම පමණක් භාවිත කරනවා ද යන්න මෙහි දී පැහැදිලි වී නැත.

එමෙන්ම මේ සම්බන්ධ කිසිදු වාර්තාවක් රජය විසින් පැහැදිලි කර නොමැති වීම ද විශේෂත්වයකි.

යම් හෙයකින් නම වෙනස් කරනවා නම්, ව්‍යවස්ථා සංශෝධනයක් අත්‍යවශ්‍ය වන බව වාර්තා වේ.

එමෙන්ම ඉන්දියාව යන වදන එරට සියලුම ආයතනවල ද සඳහන් වන අතර, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, ඉන්දීය අග්‍රවිනිසුරු, ඉන්දීය ජනපති ලෙස එම නාමයන් සඳහන් වේ.

යම් හෙයකින් එම නම වෙනස් කරනවා නම්, එම ආයතන සියල්ලේම නම් ද වෙනස් කළ යුතු බව සඳහන්ය.

මෙම කටයුත්ත අධිකරණය හමුවේ ප්‍රශ්න කෙරෙනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

දැනටමත් එවන් සිදුවීමක් වාර්තා වී තිබේ.

2020 වසරේ දී ඉන්දියාව යන නම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි.

කෙසේ නමුත් එය නිශ්ප්‍රභ කරමින් අධිකරණය පවසා තිබුණේ, ඉන්දියාව දැනටමත් භාරතය ලෙස හැඳින්වෙන බවයි.

ඒ අනුව යම් හෙයකින් ඉන්දියාවේ නම වෙනස්කිරීමට අවශ්‍ය නම්, රජයට අසීරු ඉදිරි වැඩපිළිවෙළක් සඳහා යොමුවීමට සිදුවනු ඇතැයි පැවසේ.

භාරතය යන නාමය පළමුව සඳහන් ව ඇත්තේ, පෞරාණික සාහිත්‍ය කෘතිවලය.

ඒවායේ සඳහන්ව තිබුණේ, භාරත් හෝ භාරත් වංශ ලෙසයි.

ඉන්දීය මහා කාව්‍යය වන මහාභාරතය තුළ ද එම නාමය සඳහන් වේ

මුහුද සහ හිම කඳු අතර භූමිය යනු, භාරතය යන නාමයේ අර්ථකථනයයි.

ඉන්දියානු සාගරය සහ හිමාල කඳුවැටිය අතර රට යන කරුණ ද ඉන් අදහස් වේ.

පාණ්ඩ්‍යයින්ගේ ඥාතියෙකු වූ භාරත් ලෙස නම් වූ රජකු ඉන්දියාවේ සිටි බවත් ඉන්දීය උපමහද්වීපයේ සියලුම වැසියන් ඔහුගෙන් පැවත එන්නන් බවත් ඉන්දීය පුරාවෘතවල සඳහන් වන තවත් කරුණකි.

ඔහු පාලනය කළ භූමිය භාරතය බවට පත්වූ බවත් එම කතාව සඳහන්ය.

ඉන්දියාව යන නමේ විකාශනය ආරම්භ වී ඇත්තේ, සංස්කෘත වදනක් වූ සින්ධු යන වදනින්ය.

එය ඉන්දු නදිය සඳහා භාවිත වන සංස්කෘත නාමයකි.

මෙම සින්ධු නාමය හින්දු බවට වෙනස් කළේ පර්සියානුවන් විසිනි.

ඉන් අනතුරුව ග්‍රීක වදනින් බිඳී එය ඉන්දූස් ලෙස නම් කෙරිණි.

ඉන්දූස් නදියට පහතින් වන කලාපය ඉන්දියාව ලෙස නාමකරණය කෙරුණේ තුන්වැනි සියවසේ දීය.

මෝගල් පාලන සමයේ දී ඉන්දියාව හැඳින්වුණේ හින්දුස්ථාන් ලෙසයි.

18 වැනි සියවස අගභාගයේ දී බ්‍රිතාන්‍යයෝ ඒ වෙනුවට ඉන්දියාව යන වදන භාවිතයට ගත්හ.

ඉන්දියාව නිදහස් රාජ්‍යයක් වූයේ 1947 වසරේ අගෝස්තු 15 වැනිදායි.

එවක රටේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී පවා ඉන්දියාවේ නම සම්බන්ධයෙන් දැඩි විවාදාත්මක තත්ත්වයක් පැවතියේය.

ඉන්දියාව වෙනුවට භාරතය යන නාමය භාවිත කිරීමට පිරිසකට උවමනා විය..

එහෙත් අවසානයේ පිරිස එක්ව තෝරාගත් නම ඉන්දියාවයි.

පසුගිය ජූලි මාසයේ දී ඉන්දියානු විපක්ෂය එක්ව INDIA යන සංවිධානය බිහිකරගත්තේය.

එහි INDIA යන වදන නිර්මාණය වන්නේ, ඉන්දියානු ජාතික සංවර්ධන එකමුතු සංවිධානය යන අරුතින් යුතුවය.

එය ඉන්දීය කොංග්‍රසය ඇතුළු විපක්ෂයේ පක්ෂ 26ක එකමුතුවකි.

ඔවුහූ මෙම නම වෙනස්කිරීම යන කරුණට දැඩි විරෝධයක් දක්වති.

මෝදි රජය විසින් ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කරමින් රට බෙදීමට උත්සාහ කරන බවට ඔවුහූ චෝදනා කරති.

එහෙත් රජයේ ආධාරකරුවන් පවසන්නේ, භාරතය ලෙස නම වෙනස්කිරීම මගින් ඉන්දියාව යටත් විජිතයක් ලෙස පාලනය කළ බ්‍රිතාන්‍ය යුගයේ මතක සටහන් මැකී යනු ඇති බවයි.

නම වෙනස් කරන පළමු රට ඉන්දියාව නොවන අතර, ලොව රටවල් රැසක්ම විවිධ අවස්ථාවල දී තම රටේ නම වෙනස් කර තිබේ.

ලංකාව ශ්‍රි ලංකාව බවට පත්වුණේ ද ඒ ආකාරයටය.

ඉංග්‍රීසියෙන් ටර්කි ලෙස නම් වූ රාජ්‍යය සිය නාමය තුර්කි ලෙස මෑතක දි වෙනස් කළේය.

චෙක් ජනරජය අතීතයේ හඳුන්වා ඇත්තේ, චෙකියාව ලෙසය.

ස්වාසිලන්තය, එස්වාටිනී ලෙස තිබී ඇති අතර, ඕලන්දය නෙදර්ලන්තය බවට පත්විය

අතීතයේ සියම ලෙස හැඳින්වූ රාජ්‍යය අද තායිවානය ලෙස හැඳින්වේ.

බුරුමය මියන්මාරය ලෙසත්, මැසඩෝනියා ජනරජය උතුරු මැසඩෝනියාව ලෙසත් මෙලෙස නව නාමකරණයට ලක්ව තිබේ.