නාමල්ගේ විදුලි බිල් සිද්ධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
September 1, 2023 06:24 pm
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වීරකැටියේ පිහිටි නිවසට විදුලිය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ විගණකාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය පැවති කාල සීමාව තුළ දී ඔවුන්ගේ වීරකැටියේ පිහිටි නිවසට මෙම විදුලි සැපයීම සිදුකර ඇත.
නීතීඥවරයකු වන ඊ.ජේ.විජිත කුමාර විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, එහි සභාපති එන්.එස්.ඉලංගකෝන්, හිටපු සභාපති රඛිත ජයවර්ධන, විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සම්කරු පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය 2019 වසරේ සැප්තැම්බර් මස 12 වනදා සිට 15 වනදා තෙක් මහින්ද රාජපක්ෂ මහතාගේ වීරකැටිය පිහිටි නිවසේ පැවති බවයි.
ඒ සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් අය විය යුතු මුදල රුපියල් 2,682,246.57ක් බව පෙත්සම්කරු පවසයි.
එම මංගලෝත්සවය පැවැත්වුණු සැප්තැම්බර් මස 12 සහ 15 අතර කාලය තුළ දී එම නිවස සහ අවට ප්‍රදේශයට ආරක්ෂිත විදුලි ලාම්පු ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා විසින් විදුලිබල සහ බලශක්ති ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බව පෙත්සමේ සඳහන් වේ.
ඒ අනුව එවකට විදුලිබල සහ බලශක්ති ඇමතිවරයා විසින් එම ප්‍රදේශයට විදුලිය ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලයේ බලධාරීන් දැනුම්වත් කර ඇති බවත් ඊට අදාළ ගෙවීම් එම පවුලේ සාමාජිකයන් විසින් ගෙවීමට සූදානම් බවට කරුණු ඉදිරිපත් කර තිබූ බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.
එහෙත් මෙතෙක් එම මුදල ගෙවා නොමැති බව පවසන පෙත්සම්කරු, වගඋත්තරකරුවන් සිය බලය අයුතු ලෙස භාවිත කරමින් අදාළ විදුලිය ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, විදුලි බිල ගෙවීම පැහැර හැර ඇති බවත් චෝදනා කර ඇත.
එසේ තිබිය දී තම නිවසේ රුපියල් 7,390ක මාසික විදුලි බිල නොගෙවීම හේතුවෙන් නිවසේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළ බව පවසන පෙත්සම්කරු අතිවිශාල විදුලි බිලක් නොගෙවා තිබිය දී වීරකැටිය නිවසේ විදුලිය විසන්ධි නොකර තම නිවසේ විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයේ බලධාරීන් කටයුතු කළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතිය ඉදිරියේ අසමාන ක්රියාකලාපයක් බවත් පෙත්සම්කරු පවසා තිබේ.
මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට අමතරව 2019 වසරේ සැප්තැම්බර් 12 සිට 15 වනදා දක්වා මහින්ද රාජපක්ෂ මහතාගේ වීරකැටිය නිවසට විදුලිය ලබා දීමට අදාළව ඇති ලිපිගොනුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එසේම එම නිවසට විදුලිය ලබා දීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, එහි හිටපු සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට සිය බලය අයුතු ලෙස භාවිත කිරීමට කටයුතු කර ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.