උකුස්සා සොයාගත් ජාතික අපරාධයක සුලමුල

උකුස්සා සොයාගත් ජාතික අපරාධයක සුලමුල

December 15, 2024   09:12 pm

විවිධ හේතු නිසා මෙරට දුම්රිය මාර්ග අවහිරවීම් සහ ඒවාට සිදුවන හානි පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වේ.

පසුගිය දිනවල පැවති අධික වැස්සට පස්කඳු කඩාවැටී දුම්රිය මාර්ගවලට ආපදා සිදුවූ අවස්ථා කිහිපයක් වාර්තා විය.

මෙවන් අවස්ථාවලදී දුම්රිය මාර්ග යළි පිළිසකර කිරීම සඳහා සති ගණනක් ගතවන අතර ඊට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ ශ්‍රමයත් අධික ලෙස වැය වේ.

ලොව දියුණු රටවල් මෙවන් අවස්ථාවලදී ඒවා පිළිසකර කරන්නේ තාක්ෂණය අතින් ඉහළ ආකාරයේ බහුකාර්ය යන්ත්‍ර වලිනි.

උකුස්සා අද සඳහන් කරන්නේ මෙවැනි තාක්ෂණික යන්ත්‍ර නොමැතිව මෙරට අර්බුදයකට ලක්ව ඇති බවක් නොව එවන් තාක්ෂණික බහුකාර්ය යන්ත්‍ර 5ක් ම තිබියදී ඒවා භාවිත නොකර සිටීමේ අපරාධයක් ගැනය.

ශ්‍රී ලංකාවට ඉතාලියෙන් ගෙන්වන ලද බහු කාර්ය යන්ත්‍ර 5ක් දෙමටගොඩ මාර්ග හා කර්මාන්ත දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ගාල්කර ඇති බවට අද දෙරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණු අතර මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අද දෙරණ උකුස්සා එම ස්ථානයට ළඟාවිය.

එහිදී අපට දැකගත හැකිවුණේ බහුකාර්ය යන්ත්‍ර කිහිපයක් එම ස්ථානයේ ගාල්කර ඇති ආකාරයයි.

මෙම යන්ත්‍රවල ඇතැම් අභ්‍යන්තර කොටස් පවා මේවන විට විනාශ වී ඇති අයුරු උකුස්සාට දක්නට ලැබුණි.

එසේම උකුස්සාට අනාවරණ වූයේ මෙම යන්ත්‍ර, ඉතා විශාල මුදලක් වැය කරමින් ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ ඉතාලියෙන් ගෙන්වා ඇති බවය.

කනගාටුවට කරුණ වන්නේ එදා සිට මේ දක්වා මෙරට දුම්රිය මාර්ග රැසකට විවිධ ආපදා සිදුවුවත් මෙම යන්ත්‍ර මෙම පරිශ්‍රයේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා තිබීමය.

මේ ගැන දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් කිහිප දෙනෙකුගෙන්ම අප විමසුවත්, මෙවන් යන්ත්‍ර එම පරිශ්‍රයේ ඇතිබව හෝ ඔවුන් නිසිලෙස නොදැන සිටීම සැබැවින්ම ඛේදනීයයි.

දිගු කාලයක පටන් මේ විනාශ වන්නේ මෙරට මහජන මුදල් නොවේද?

බලධාරින් මේ සම්බන්ධයෙන් පියවර ගන්නා තුරු අද දෙරණ උකුස්සා අවදියෙන් සිටියි.