දිවයින වටා මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අනතුරු ඇඟවීම් නිවේදනයක්
December 15, 2024 05:52 pm
දිවයින වටා මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා පැය 24ක් දක්වා වලංගුවන පරිදි අවදානයෙන් සිටින ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුල අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවය.
ඉන් පසුව එළඹෙන දින දෙක තුලදී, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව ද දැනුම් දී තිබේ.
අනතුරු ඇඟවීම්
මුහුදු ප්‍රදේශ සඳහා,
•කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. (50-60) පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. එම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැවතිය හැක.
•කන්කසන්තුරය සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම විටින් විට තරමක් රළු විය හැක.
අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව, මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇත.
ගොඩබිම ප්‍රදේශය සඳහා, මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව, විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාව අවධානයෙන් පසුවන ලෙස දන්වා තිබේ.