සයුරෙන් එතෙර
රුසියාව නැවතත් හඳ අල්ලයි
August 11, 2023 04:15 pm
Cold war නැත්නම් ශීත යුද සමයේ අමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර පැවති අභ්‍යවකාශය ජය ගැනීමේ සටන මිනිසාගේ විශ්ව ගවේෂණය වැඩිදියුණු කිරීමට ඉවහල් වූ බව නොරහසකි.
අභ්‍යවකාශය ජය ගැනීම, සඳ තරණය, අඟහරු තරණය අභ්‍යවකාශ දුරේක්ෂණ මෙන්ම අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය බිහිවීම සහ එහි ප්‍රතිඵල ලෙස සෝවියට් සංගමය අවසන් වරට සඳ ගවේෂණයට යානයක් ගුවන්ගත කළේ, 1976 වසරේදීය.
ඒ අනුව මීට වසර 47කට පෙර රුසියානු ලූනා යානයක් සඳ වෙත පිටත් විය.
එහි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් රුසියාවේ වොස්ටොව් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලූනා -25 චන්ද්‍ර යානය රැගෙන සෝයුස් රොකට්ටුව නික්මුණේ, මොස්කව් වේලාවෙන් අද (11) අලුයම 02.11ටය.
ඉන් පැයකට පමණ පසු පෘථිවි කක්ෂයෙන් නික්මුණු චන්ද්‍රයානය සඳ වෙත ගමන් ආරම්භ කළේය.
රුසියානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානී යූරි බොරිසොව් සඳහන් කළේ, ලූනා - 25 යානය අගෝස්තු 21 වනදා සඳ මතට ගොඩබැස්සවීමට අපේක්ෂා කරන බවයි.
සඳේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට මෘදු ගොඩබෑමක් (soft landing) ලෙස ලූනා -25 එහි පතිත කිරීමට රුසියාව සැලසුම් කර තිබේ.
එහි ආවාටවල ද්‍රව අයිස් පවතින බව මීට පෙර අනාවරණය කළ අතර, එය තහවුරු කළ හැකි ද යන්න ලූනා -25 මඟින් පරීක්ෂාවට ලක්කෙරෙනු ඇති.
යුක්‍රේන යුද්ධය නිසා පැනවුණු සම්බාධක හමුවේ රුසියාව මෙම චන්ද්‍ර ගවේෂණය සිදුකිරීම විශේෂයෙන් වැදගත් වන්නේ, එම සම්බාධකවලින් රුසියානු අභ්‍යවකාශ ක්ෂේත්‍රය ද ඉලක්ක කරගෙන ඇති බැවිනි.
සිය ආර්ථිකය හෝ තාක්ෂණික දියුණුවට බටහිර සම්බාධකවලින් බලපෑමක් ඇති වී නොමැති බව පෙන්වීමටත් රුසියාවට අවශ්‍ය වී තිබේ.
1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන් සඳ මතට ගිය මුල්ම මිනිසා බවට පත්වුවත් සඳමතට මුලින්ම ගිය අභ්‍යවකාශ යානය වූයේ 1959 වසරේ එහි යැවූ ලූනා 02 යානයයි.
එමඟින් සඳමත මුලින්ම මෘදු ගොඩබෑමක් (soft landing) 1960 දී සිදුකළේ රුසියාවයි.
සෝවියට් සංගමය වෙනුවෙන් එලෙස සඳ මත ගොඩ බැස්සේ, ලූනා 09 චන්ද්‍ර යානයයි.