අවභාවිත වන ශ්‍රම බළකාය සහ දුප්පත්කම

අවභාවිත වන ශ්‍රම බළකාය සහ දුප්පත්කම

July 28, 2023   11:01 am

රාජ්‍යයක ශ්‍රම බළකාය යනු, ආර්ථිකයේ මූලික කශේරුකාව බව අවිවාදිත කාරණයකි. ශ්‍රම බලකායේ යහපැවැත්ම පිළිබඳ ඇති නිර්ණායක හා එහි සුරක්ෂාව පිණිස පවතින යාන්ත්‍රණයේ ස්වභාවය මත රාජ්‍යයේ ආර්ථිකයට අදාළ එළැඹුම් හඳුනාගත හැකිය. උපන් රාජ්‍යයෙන් මිදී වෙනත් රාජ්‍යයන් තුළ රැකියා පිණිස යාම, ඕනෑම දියුණු රාජ්‍යයක පවා අද්දැකිය හැකි සහේතුක ධර්මතාවකි. නමුත් අසාමාන්‍ය ලෙස පුරවැසියන් විදේශගත වීම යන්න දියුණු රාජ්‍යයක ලක්ෂණයක් නොවේ. එය පැහැදිලිවම අදාළ රාජ්‍යයෙහි ඇති පුද්ගල කළමනාකරණය තුළ ඇති දුර්වලතාවක පිළිබිඹුවකි. 1948 නිදහස ලද දින සිට ශ්‍රී ලාංකිකයන් මහත් උනන්දුවෙන් විදේශගත වීම දැකගත හැකි අතර, ලාංකේය සමාජ දේහයේ අවිඥානිකවම පවතින්නක් ලෙස මව්බිම අත්හැර දමා යාමේ තත්ත්වය හඳුනාගත හැකිය. සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ, අපෙන් මිඳී වෙන රටකට යන්න හදනවා යනුවෙන් නන්දා මාලිනිය ගැයුවේ එම දුර්ලක්ෂණයයි. නිදහසින් ඉක්බිති වසර 75ක් ගත වී ඇති මේ මොහොතේද ශ්‍රී ලාංකිකයෝ බුරුතු පිටින් සිය මව්රට දමා යන්නට උත්සුක වෙති. එසේ විදේශගත වීම තුළද විවිධ වූ ස්ථරයන් අපට හඳුනාගත හැකිය. වෘත්තිකයන් මට්ටමෙන් රට හැර යන පුද්ගලයන්ට නම්, වෙනත් රටකදී ඉතා සුඛනම්‍ය වූ ජීවිතයක් ගත කළ හැක. තත් මොහොතේ ශීඝ්‍රයෙන් විදේශගත වන වෛද්‍යවරුන්, වෙනත් රටකට ගොස් යස ඉසුරින් සංගෘහිත වූ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනු නොඅනුමානය. ඉන් රාජ්‍යයට සිදුවන අවැඩක් මිස ඔවුන්ට සිදුවන අවැඩක් හඳුනාගැනීම අසීරුය. නමුත් මෙහි අර්බුදය ඇත්තේ, කම්කරුවන්, ගෘහ සේවිකාවන් වශයෙන් රටින් පිටවන ශ්‍රම බළකාය යන ගැටලුව තුළය. අදටත් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතයට, බරපතළම මූල්‍ය පංගුව දායක කරන්නේ, විදෙස්ගත ශ්‍රමිකයන්ය. නමුත් ඔවුන්ගේ ජීවිත සාරවත් වී ඇති බවක් කෙසේ නම් පවසමුද?

දහස් ගණනක් අතරින් තවත් එක් සංවේදී කතාවක්

හෂිනි මානවඩු නම් 30 හැවිරිදි කාන්තාව අපට හමුවන්නේ, මතුගම ප්‍රදේශයෙනි. ඇය මීට වසර 10කට පෙර ඒ.එච්.කුමුදු සඳරුවන් යොමාල් ඩයස් නම් පුද්ගලයකු සමඟ විවාහ වී ඇති අතර, ඔහුද මේ වන විට 30 හැවිරිදි වියේ පසුවන අයෙකි. ඔවුන් දෙදෙනාට 08 හැවිරිදි හා වසර එක හමාරක දරුවන් දෙදෙනෙක් සිටිති. කුමුදු රැකියාව වශයෙන් කරඇත්තේ, මේසන් අත්උදව් දීමය. පවතින ආර්ථික අර්බුදය හමුවේ පවුල් ජීවිතයට ඇතිවන මූල්‍ය අඩුපාඩු විසඳාගැනීම උදෙසා ඔහු 2023 ජනවාරි මස 20 වනදා මැලේසියාවේ රැකියාවකට ගොස් ඇත. නමුත් අද දක්වාම සිය ස්වාමිපුරුෂයා මැලේසියාව තුළ ස්ථිර රැකියාවක් නොමැතිව අතරමං වී ඇති බව ඇය පැවසුවාය.

කුමුදු නම් පුද්ගලයාගේ පුංචිඅම්මාගේ පුත්‍රයා මීට පෙර මැලේසියාවේ රැකියාවකට ගොස් තිබිණි. ඒ, විදේශ රැකියා ලබාදෙන බව පවසන ශ්‍යාමලී නමැති කාන්තාවකගේ මාර්ගයෙනි. ඉන් පසු කුමුදුද විදේශ රැකියාවක් සඳහා උනන්දු වී ඇති අතර, ඒ සඳහා ඔහු වතාවල් දෙකකදී ශ්‍යාමලී නම් කාන්තාවට, රුපියල් ලක්ෂ එකහමාරක් සහ දෙලක්ෂ හැත්තෑ දහසක් ලබා දී තිබිණි. ශ්‍යාමලී නම් කාන්තාව පොරොන්දු වී ඇත්තේ, රුපියල් ලක්ෂ දෙක හමාරක වැටුපක් මෙම පුද්ගලයාට ලද හැකි රැකියාවක් සොයාදෙන බවටය. එසේම ඔහුට වීසා පහසුකමද කඩිනමින් ලබා දීමට පොරොන්දු වී ඇත. පසුව නවෝද්‍යා ප්‍රසාදිනී නම් කාන්තාවක්, ඒජන්සියක් නොවන යම් පිටස්තර ස්ථානයකට පැමිණෙන ලෙස දන්වා සිය ස්වාමියාට ටිකට් පත ලබාදුන් බව හෂිනි නම් කාන්තාව අප සමඟ පැවසීය. මේ ආකාරයට ඔහු විදේශගත වුණද පොරොන්දු වූ ආකාරයේ රැකියාවක් ලබාදීමට විදේශගත කළ ශ්‍යාමලී නම් කාන්තාවට හැකි වී නැත. පළමු වතාවට ඇය කුමුදු නම් පුද්ගලයාව වාහන අලෙවිසලක රැකියාවකට යොමුකර ඇති අතර, ඒ සඳහා ඔහුට ලැබී ඇත්තේ, රුපියල් ලක්ෂයක වැටුපකි. පසුව ඔහුව උමං මාර්ගයක් සාදන ස්ථානයක රැකියාවකට යොමුකර ඇති අතර, එහි මාස දෙකක් රැකියාව කළද ඔහුට වැටුප් හිමි වී නැත. ඔහු දිගින් දිගටම ශ්‍යාමලී නම් කාන්තාවගෙන් වැටුප් ඉල්ලා දෙන ලෙස ඉල්ලීම් කළද අද වනතුරු ඔහුට මාස දෙකකට අදාළ වැටුප් හිමිවී නැත. දැනට කුමුදු නම් පුද්ගලයා මැලේසියාව තුළ ඉතා අපහසුවෙන් ජීවත් වන බවත් වීසා පහසුකම් නැති නිසා අත්අඩංගුවට පත් වීමේ බියෙන් පසුවන බවත් ඇය පැවසුවාය. එසේම මේ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ, රැකියා වීසා මිස සංචාරක වීසා නිසා ඇති වූ ගැටලු පිළිබඳ පැමිණිලි භාරගත නොහැකි බව එම කාර්‍යාංශය මඟින් මෙම කාන්තාවට පවසා ඇත. මේ පිළිබඳ විදේශසේවා නියුක්ති කාර්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී සෙනරත් යාපා මහතා ගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, එම පැමිණිල්ල භාරනොගැනීම නීත්‍යානුකූල බවය.

''විදේශසේවා නියුක්ති කාර්‍යාංශය තියෙන්නේ, විදේශ රැකියා සඳහා ගිය අය වෙනුවෙන්. විදේශ රැකියාවක් සඳහා ගියා නම්, ඒක පැහැදිලිවම ඒජන්සිය මාර්ගයෙන් සඳහන් වන එකක්. එහෙම පැමිණිල්ලක් කරනවා නම්, අදාළ ඒජන්සිය රැකියාවක් දෙන බවට ලිඛිතව පොරොන්දු වුණ බව ඔප්පු කරන්න සාක්ෂියක් තියෙන්න ඕනේ. ඇත්තටම රැකියාවකට ගියත් ඒක ඔප්පු කරන්න අවශ්‍ය ලේඛණ නැත්තං අපිට ඒකෙ වගකීම ගන්න බෑ. ඔය සඳහන් කරන කාන්තාවටත් ඒක ඔප්පු කරගන්න බැරි වෙන්න ඇති. අවශ්‍ය නම් ඇයට පුළුවන් කොන්සියුලර් කාර්‍යාලයට ලිපියක් ලියන්න. අපි ඕනෑ තරම් මේ වගේ සිද්ධි ගැන විමර්ශනය කරනවා. ඒ සඳහා අපිට විශේෂ විමර්ශන ඒකකයක් තියෙනවා. නමුත් ඒ සඳහා ක්‍රමයක් තියෙනවා. දැනට අපි ගණං බලලා තියන විදියට ආසන්න වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි ඒජන්සි 950ක් විතර තියනවා. ඒක අපේ වෙබ් සයිට් එකෙත් දාලා තියනවා. අවුරුද්දකට සැරයක් ඒ හැම ඒජන්සියක්ම ලියාපදිංචිය අලුත් කරගන්න ඕනේ. ඒජන්සියක ප්‍රධානම කාර්‍යය තමා, රටේ පවතින නීතියට අනුව යම් පුද්ගලයකු වෙනත් රටකට යැවීම කියන එක. ඒ වගේම ඒ පුද්ගලයන්ගේ ආරක්ෂාව ඇතුළු සියලු දේ ඒජන්සිය තමා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට ඒජන්සි ගැන පැමිණිලි එනවා අඩුයි. 2023 ජනවාරි 01 වනදා ඉඳං ජූලි 20 වෙනකං විතරක් අපිට පැමිණිලි 1358ක් ඇවිල්ලා තියනවා. ඒ ගොඩක් ඒවා සල්ලි අරං රට යවනවා කියලා මිනිස්සු රවට්ටපු ඒවා. අපි පැමිණිලි භාර නොගෙන ඉන්නේ නෑ. කලිං කියපු ලිපි-ලේඛණ තියනවා නම්, භාරගන්නවා. විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය ක්‍රියාත්මක වෙන්නේ, 1985 අංක 21 දරන පනතෙන්. මොනම හරි ඒජන්සියක්, ආයතනයක් වැරැද්දක් කරලා තියනවා නම්, රටේ තියන මූලික නීතියට අනුව දඬුවම් කරන්න පුළුවන්. කලිං කියපු කාන්තාවගේ පැමිණිල්ල විභාග කරන්න ඕනේ, පොලිසිය. මට අවසාන වශයෙන් කියන්නේ තියෙන්නේ, මිනිස්සුන්ට රැවටෙන්න එපා කියලා. රට යනවා නම් ලියාපදිංචි ඒජන්සියක් මාර්ගයෙන් රට යන්න කියලයි මට කියන්න තියෙන්නේ. වංචාකරුවන්ට රැවටෙන්න එපා''

මේ ඇත්තේ, ඉතා දීර්ඝ සිදුවීමක් පිළිබඳ කළ සාරාංශගත සටහනකි. නමුත් ආර්ථිකමය වශයෙන් පීඩා විඳින මෙවැනි මිනිසුන්ගේ ජීවිත රැවටීමට ලක්වන්නේ, ඉතා ඉක්මනින්ය. ගිලෙන මිනිසාට තුත්තිරි ගසද පිළිසරණක් වන්නා සේ, ඔවුන්ද කුමන හෝ ආකාරයකින් ජීවිතය සාර්ථක කරගැනීමට උත්සාහ කරන්නට ඇත.

විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට පැමිණිලි කිරීමට උත්සාහ කිරීමෙන් පසු හෂිනි නම් කාන්තව සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා මතුගම පොලිසියට ගොස් ඇත. නමුත් මෙම පුද්ගලයා දැනට රැකියාවට ගොස් සිටින නිසා එවැනි දෙයක් පිළිබඳ පැමිණිලි භාරගත නොහැකි බව මතුගම පොලිසිය තමාට පැවසූ බව අදාළ කාන්තාව අප සමඟ පැවසීය. මේ පිළිබඳ මතුගම පොලිසියෙන් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ, එසේ කිසිවිටක පැමිණිලි භාර නොගෙන සිටීමට පොලිසිය කටයුතු නොකරන බවය. 

මෙම සිදුවීම පිළිබඳ විමසීමේදී පැහැදිලි වන්නේ, අවසාන වශයෙන් පීඩිතයා තවදුරටත් පීඩාවට පත් වී ඇති බවයි. ආයතන මට්ටමෙන් සිදුකර ඇති දේ නිවැරැදි වුවද අසරණ වී ඇත්තේ, දුප්පත් පවුලකි. මෙය එක් සිදුවීමක් පමණි. වසර ගණනාවක් තිස්සේ මෙය නොවිසඳුණු ගැටලුවකි. එබැවින් හුදෙකලා සිදුවීම් පිළිබඳ සිදුකරන කියවා ගැනීම්වලට වඩා එම සාම්ප්‍රධායික උත්සාහයන් අතික්‍රමණය කළ විද්‍යාත්මක පැහැදිලි කරගැනීමක් මෙම අර්බුදයට අත්‍යවශ්‍ය ව ඇත. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්‍ය සිරි හෙට්ටිගේ සමඟ කළ කෙටි සම්මුඛ සාකච්ඡාවක් පහතින්.

* ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා රටින් පිටවීම කියන කාරණය පොදුවේ කියවාගත යුත්තේ කෙසේද?

මේ ප්‍රශ්නය පටං ගත්තේ, 1977 විවෘත ආර්ථිකයත් එක්ක. මිනිස්සු වැඩි වැඩියෙං රට යන්න ගත්තේ ඒ ආර්ථික ප්‍රතිපත්තිය ආවට පස්සේ. මං ගාව සංඛ්‍යාලේඛණ තියනවා. 1977ට කලිං ඒ කිවුවෙ 1976 අවුරුද්දේ පිටරටවල රස්සා කරලා තියෙන්නේ ලංකාවෙ අය 6,000ක් විතරයි. ඊට පස්සෙ සමහර අවුරුදුවල ඒක දෙලක්ෂ හැට දාහ දක්වා ඉහළ ගියා. ලංකාවේ ශ්‍රම බළකාය ඉන්නේ මිලියන 8.5ක් වගේ. දැං වෙනකොට ඒකෙං මිලියන 02ක් විතර පිටරටවල වැඩකරනවා. ඒක අපි වගේ පොඩි ශ්‍රම බළකායක් තියන රටකට දරාගන්න අමාරුයි. 77ට කලිං ලංකාවේ විශාල වශයෙන් කර්මාන්ත තිබුණා. සිමෙන්ති, කඩදාසි, වානේ, ඇඟලුම්, අත්කම්,රසායන ද්‍රව්‍ය වගේ කොච්චර කර්මාන්ත තිබුණද. ඒත් ඒ ඔක්කොම වහලා දැම්මා. එතකොට ශ්‍රම බළකාය මොනවද කරන්නේ. අපි පාවිච්චි කරන දේවල්වලිං ආහාර පාන ඇරුණම ඉතිරි 70% වගේ කාර්මික භාණ්ඩ. ඒ කාර්මික භාණ්ඩ හැම එකක්ම වගේ අපි ගේන්නේ පිටරටවලින්. තමංගෙ රටේ කර්මාන්ත නැතුව කොහොමද රටක් දුවන්නේ. 77ට කලිං තිබ්බ කර්මාන්තශාලාවල අපේ මිනිස්සුම තමා වැඩ කළේ. ඒව වැහුවම ඒ මිනිස්සුන්ට රැකියා නැතිවුණා. 

* ශ්‍රම බළකාය මෙරට තුළම රඳවාගැනීම සඳහා, දැනට පවතින ප්‍රතිපත්ති ප්‍රමාණවත්ද?

අපි ඉස්සර ඉඳංම කළේ, රට යන එක ප්‍රවර්ධනය කරපු එක. මේක ජපානය, කොරියාව, මැලේසියාව වගේ රටවල් දැනගත්තා. ඒ රටවල් දැනගත්තා, අපේ රටේ ශ්‍රම බළකාය පහසුවෙන් ඒ රටවල්වලට ගෙන්නගන්න පුළුවන් කියලා. ඒ නිසා තමා ඊට අදාළ විදියට ඒගොල්ල ක්‍රම හැදුවේ. අනිත් එක තමා වෙනත් රටක ඉන්න ලංකාවේ වෘත්තිකයන්ට නැවත ලංකාවට එන්න අවශ්‍ය තත්ත්වයක් තාම අපේ රටවල්වල නෑ. යන අයව ගෙන්නගන්න වැඩපිළිවෙළක් නෑ. පිටරට ගිහිං ඉඳලා ලංකාවට ආවම ඒ අයව ලංකාවේ ආර්ථිකයට නිවැරදිව අන්තර්ග්‍රහණය කරන්න ප්‍රතිපත්තියක් තාම ලංකාවේ නෑ. අපි අපේ රටේ හදපු විද්‍යාඥයෝ ඔක්කොම ඉන්නේ වෙනත් රටවල්වල. අපි කොච්චර අධ්‍යාපනය දුන්නත් කොච්චර පුහුණු කළත් ඒ අය වෙන රටවලට යනවා. මේකට ප්‍රධානම හේතුව විදියට මම දකින්නේ, මේ රටේ දැනුම පදනම් කරගත්තු ප්‍රතිපත්තියක් නෑ. අපි ලෙඩක් වුණාම බෙහෙත් ගන්න යන්නේ වෛද්‍යවරයෙක් ළඟට. මොකද ඒකට අදාළ එයා නිසා. ඒ වගේ රටක ප්‍රතිපත්ති, තීන්දු, තීරණ ගන්න ඕනේ අදාළ විෂයට ප්‍රවීණ අය විසින්. ලංකාවෙ ඒ මූලධර්මය කවදාවත් ක්‍රියාත්මක වෙලා නෑ. අපේ කලාපයේම ගත්තත් චීනය, කොරියාව, තායිවානය, මැලේසියාව වගේ රටවල්වල මේ මූලධර්මය හොඳට ක්‍රියාත්මක වුණා. ඒ නිසයි ඒ රටවල් දියුණු වුණේ. මම කියන්නේ හැම ක්ෂේත්‍රයක් ගැනම. විෂය දන්න මිනිස්සුන්ව ප්‍රතිපත්ති හදන්න දායක කරගන්නේ නැතුව මුකුත් කරන්න බෑ.

* මෙම අර්බුදය හමුවේ පුරවැසියා උගත යුතු පාඩම කෙබඳු එකක්ද?

අපේ රටට ශ්‍රම අතිරික්තයක් නෑ. ඒක අපි හිතාමතාම පටවගත්තු කෘත්‍රීම නිෂ්පාදනයක්. මිනිස්සු හදන්නේ, මොන විදියකින් හරි ගොඩ යන්න. හොර ඒජන්සියකින් ද ලියාපදිංචි එකකින්ද කියලා නෑ, මිනිස්සු බලන්නේ හොඳට ජීවත් වෙන්න. පාලකයා දැනගන්න ඕනේ එහෙම නොකරන මට්ටමට මිනිස්සුන්ගෙ ජීවිත යහපත් කරන්න. අවුරුදු 50ක් තිස්සේ වෙන බුද්ධිගලනයට අපිට තාම උත්තරයක් නෑ. අපි ශ්‍රම බළකාය කළමනාකරණය කරගන්න ඕනේ. එහෙම නැතුව අපිට මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. අපි කළේ, වටින මිනිස්සුන්ට යන්න ඇරලා බලං හිටපු එක. පුරවැසියන් විදියට අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. අපි පුරවැසියන් විදියට ඉගෙන ගන්න ඕන ලොකුම පාඩම තමා, අපිට මොකද වුණේ කියලා තේරුම් ගන්න එක. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ, දැනුම මත පදනම් වුණ ප්‍රතිපත්තියක් නැතුව මේ කිසිදේකට උත්තර හොයන්න බෑ කියන එක.