වෘත්තිමය වගකීම නිසිලෙස ඉටුකරන රාජ්‍යය සේවයක් රටට අවශ්‍ය බව ජනපති කියයි

වෘත්තිමය වගකීම නිසිලෙස ඉටුකරන රාජ්‍යය සේවයක් රටට අවශ්‍ය බව ජනපති කියයි

October 18, 2025   08:07 pm

වෘත්තීමය වගකීම නිසි ලෙස ඉටුකරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සෑම වෘත්තියක් සඳහාම එම වෘත්තිය සමග බැදුණු විනය සහ වගකීමක් තිබිය යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය සහ අපරාධවලට දේශපාලනය පමණක් නොව රාජ්‍ය යාන්ත්‍රණයේ පිරිසක් ද සම්බන්ධ බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 

ත්‍රිකුණාමලය චීන වරායේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වර්ණ ප්‍රදානයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 3 සමුද්‍රීය බලගණයට ජනාධිපති වර්ණ පිළිගැන්වීම, කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම හා පියාසර නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අද පෙරවරුවේ ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේදි පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිතයා වූයේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.

ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 3 සමුද්‍රීය බලගණයට ජනාධිපති වර්ණ පිළිගැන්වීම සිදු කෙරිණි.

ඉන් අනතුරුව කැඩෙට් නිලධාරීන් හා නිලධාරිනියන් 66 දෙනෙකු අධිකාරියට පත් කිරීම සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
''අපේ මාතෘ භූමියේ ගුවනේ ආරක්ෂාව රඳා පවතින්නේ ඔබ අතේ. ඒ වගේම අපගේ මුහුදු තීරයේ ආරක්ෂාව සහ ආවේක්ෂණ කටයුතු ඔබට පැවරී තිබෙනවා. මා විශ්වාස කරනවා වර්තමානයේ දී අපේ මුහුදු තීරය ආවේක්ෂණ කටයුතු කිරීමත්, එහි ආරක්ෂාව තහවුරු කිරීමත් ඉතාමත් වැදගත්. ඒ මොකද නීති විරෝධී සංක්‍රමණිකයින්, ඒ වගේම නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය, ඒ වගේම ඔබ දන්නවා මත්කුඩු සහ මෑත කාලයේ නම් සමහර අවිආයුධ පවා මේ තීරයෙන් අපේ මාතෘ භූමියට වෙන අවස්ථා අපි දැක තිබෙනවා. විශේෂයෙන්ම වර්තමානයේ මේ මත්ද්‍රව්‍ය සහ ඒ හා බැඳුණු අපරාධ ඒ අපරාධ හා සම්බන්ධ වුණු දේශපාලනය, ඒ අපරාධ හා සම්බන්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙන බව අප තේරුම් අරගෙන තිබෙනවා. එහි ගැඹුර, එහි විශාලත්වය අපට මැනගත හැකියි. අපේ ගම්බිම් කරා, එම ව්‍යසනය පැතිරෙමින් තිබෙනවා. එම නිසා එම ව්‍යසනය වැළැක්වීමේදී, මම හිතනවා අපේ මුහුද ආවේක්ෂණ කටයුතු ඉතාමත් වැදගත්. ඒ නිසා ඔබ මත පැවරෙන්නේ, එම ආවේක්ෂණ කටයුතු ඉතාමත් නිවැරදි ඉටු කරමින් මව්බිමේත්, මව්බිමේ වෙසෙන ජනතාවගේත් ආරක්ෂාව සහ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ඔබ මත පැවරී තිබෙන වගකීමක් ලෙස අප සලකනවා. ඒ නිසා මා හිතනවා, අද ඔබ ප්‍රවිශ්ට වෙන්නේ, අපේ රටේ අනාගතයේ ආරක්ෂකයන් සහ වගකීම් දරන්නන් ලෙස. වෘත්තීමය භාවයක් අපේ රැකියාවන්ට අවශ්‍ය වී තිබෙනවා. ඔබ දන්නවා අපේ බොහෝ වෘත්තීන්වලට අත්පත් වී තිබෙන ඉරණම එතරම් සුබදායී ඉරණමක් නොවේ. එහෙත් අපිට ආඩම්බරයෙන් සහ වගකීමෙන් කියන්න පුළුවන් අපේ ගුවන් හමුදාව තාමත් තමන්ගේ වෘත්තීමයභාවය ඉතාමත් ශක්තිමත්ව ආරක්ෂා කරගන්න සමත්වී තිබෙනවා.''