නොහික්මුණු බස් රියදුරෙක් නිසා අසරණ වූ පවුලක්
July 26, 2023 01:40 pm
නොහික්මුණු බස් රථ රියදුරෙකු නිසා සිදුවූ අනතුරකින් අසරණව සිටින පවුලක් පිළිබඳව වත්තල ප්‍රදේශයෙන් තොරතුරක් වාර්තා විය.
එම අනතුරින් බරපතළ තුවාල සිදුව ප්‍රතිකාර ලබන 27 හැවිරිදි වියේ පසුවන ශ්‍රියානි මේ වනවිට දිවි ගෙවන්නේ සිය සැමියාගේ උදව්වෙනි.
පසුගිය මැයි 10වැනිදා ලංගම බස්රථ රියදුරෙක් ඇයත් සැමියාත් ගමන් ගත් යතුරුපැදිය අනතුරට ලක් කරන්නේ වත්තල ප්‍රදේශයේදීය.
අනතුරින් ශ්‍රියානිගේ දෙපාවලට දැඩි හානි සිදු වූ අතර කොන්දට සහ උකුල් ඇටයටද හානි සිදුව තිබුණි.
කෙසේ වෙතත් ශ්‍රියානිගේ කුස තුළ සිටි දරුවාට අනතුරක් සිදුව නොමැති බව හදුනාගත් වෛද්‍යවරු සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීමට කටයුතු කළේය.
මාස 2කට අධික කාලයක් ශ්‍රියානි රෝහල්ගතව සිටි බැවින් කිරිපිටි ලබා දෙමින් දරුවා තනිව රැකබලාගත්තේ ශ්‍රියානිගේ සැමියාය.
අනතුර සිදුකළ රියදුරු පිළිබදව තවමත් කිසිදු විස්තරයක් නොදන්නා ඔවුන්, නීතිය මගින් තමන්ට නිසි පිලිසරණක් නොලැබුණු බවද පවසයි.
පෞද්ගලික ආයතනයක භාණ්ඩ බෙදාහැරීමේ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ ඉන්දිකට සිය රැකියාවද අහිමිවන්නේ බිරිඳ මෙන්ම දරුවා බලාගැනීමට කිසිවකු නොමැති වීම හේතුවෙනි.
එක් අවිනීත රියදුරෙකු නිසා ශ්‍රියානිගේ,ඉන්දිකගේ මෙන්ම, මේ කිසිවක් නොතේරෙන සිඟිත්තාගේත් ජීවිත අඳුරු වෙමින් තිබේ.
ශ්‍රියානිටත් ඉන්දිකටත් උදව්වක් කළ හැකි අයෙකු වේ නම් 075 900 3415 දුරකථන අංකයෙන් ඔවුන් හා සම්බන්ධ වන්න.