ගාලු මුවදොර පිටියේ අපවිත්‍ර ආහාර

ගාලු මුවදොර පිටියේ අපවිත්‍ර ආහාර

July 2, 2023   10:03 pm

වැසිකිළි වැනි අපවිත්‍ර ස්ථානවල සකස් කෙරෙන, පරිභෝජනයට නුසුදුසු ආහාර කොළඹ ගාලුමුවදොර පිටිය වෙත ගෙනැවිත් ජනතාවට අලෙවි කරන බවට වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාජ් කතුරුසිංහ මහතා පවසයි.

ඒ අනුව, ගාලුමුවදොර පිටියේ ජංගම වෙළෙඳුන් නියාමනය කිරීමට මේ වනවිටත් අවධානය යොමු කර තිබේ.

කොළඹ ගාලුමුවදොර පිටිය කොළඹ නගරයේ දක්නට ලැබෙන විශාලතම හිස් බිම් තීරුව වන අතර එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් සුන්දර ප්‍රදේශයකි.

ඒ, හේතුවෙන් නිදහසේ කාලය ගතකිරීමටත් ඇවිදීමටත් බොහෝ පිරිසක් දෛනිකව මෙහි පැමිණෙති.

ආගමික කටයුතුවලට හැර සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලුමුවදොර ලබානොදීමට රජය තීරණය කර තිබුණේද එහි ඇති සුන්දරත්වය රැකගැනීමේ අරමුණින්ය.

මෙහි පැමිණෙන පිරිස් වෙත ආහාර අලෙවිකිරීම සඳහා වෙරළ තීරය ආසන්නයේ ජංගම අලෙවිසැල් ද පවත්වාගෙන යනු ලබයි.

ඒලෙස පැමිණෙන වෙළෙඳුන් ආහාර සකස්කරන්නේ හා අලෙවියේ නිරත වන ආකාරය දැකගන්ට ලැබුණි.

ගාලුමුවදොරට පැමිණෙන ජනතාවට ප්‍රමිතියෙන් යුතු ආහාර ලබාදීමේ අරමුණින් මෙම වෙළෙඳුන් නියාමනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සැලසුම් කර තිබේ.