මහණ දම් පුරණ පොඩි හාමුදුරුවෝ

මහණ දම් පුරණ පොඩි හාමුදුරුවෝ

June 3, 2023   07:30 pm

උපන් දා සිට මව් සෙනෙහස අහිමිවූ දමිළ දරුවෙක් පැවිදි දිවියට එළඹීමේ පුවතක් ඇහැළියගොඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණි.

ක්‍රිෂ්ණමූර්ති කවිරාජ් නමැති ඒ දරුවා දැන් පුජ්‍ය පුස්සැල්ලේ කුසලධම්ම හිමියන් ලෙස මහණ දම් පුරති.

පුජ්‍ය පුස්සැල්ලේ කුසලධම්ම පොඩි හාමුදුරුවෝ සිංහල නමකින් පැවිදි බව ලැබුවත් මේ සාමණේර හිමියන් උපතින් දෙමළ දරුවෙකි. 

මහනුවර පුස්සැල්ල ප්‍රදේශයේ උපත ලැබූ ක්‍රිෂ්ණමූර්ති කුඩා කළ සිටම මවගේ උණුසුම අහිමිවී ගොස් තිබුණි. 

පුජ්‍ය පුස්සැල්ලේ කුසලධම්ම හිමි,

"ඉපදුන දවසේම අම්මා මාව දාලා ගියා, තාත්තා විතරයි මාව බලාගත්තේ. ඊට පස්සේ මාව බලාගන්න හිටියේ පුංචි අම්මායි, තාත්තයි."   

එතැන් සිට පියාගේ සහ ඥාතීන්ගේ සෙවණ යටතේ හැදීවැඩුණු මෙම හිමිනම පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසු සිය පාසල් ජීවිතයට සමුදී ඇත. 

පුජ්‍ය පුස්සැල්ලේ කුසලධම්ම හිමි,

"5 වසරට වෙනකන් පාසල් ගියා. ඊට පස්සේ පාසල් ගියේ නැහැ. මම නිකන් හිටියා ගෙදරට වෙලා."

ඉන් පස‍ු මෙම සාමණේරහිමියන් තම නිවසින් ගොස් ඥාතී නිවසක නවාතැන් ගෙන තිබුණි. 

ඇහැළියගොඩ නැදුරණ චිත්‍රාඇල්ල ශ්‍රී පාද භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ගින්නලියේ රතනසාර හිමි, 

"පොතුපිටිය ගමේ අපේ පොඩි හාමුදරුවෝ නමක් ඉන්නවා සීලරතන පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේගේ අම්මා දුරකතනයෙන් කතා කරලා කිව්වා දරුවෙක් ඉන්නවා.. පාසල් යන්නේ නැති.. පන්සලේ උගන්වන්න බැරිද කියලා.. ඇහුවා."

පසුව කෙසේ හෝ අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ක්‍රිෂ්ණමූර්ති ඇහැලියගොඩ නැදුරණ චිත්‍රාඇල්ල ශ්‍රී පාදස්ථාන භාවනා මධ්‍යස්ථානයට යොමුකර තිබුණි. 

එලෙස කාලය ගතකරන ක්‍රිෂ්ණමූර්තිට මහණවීමට සිත පහළවන්නේ එහි වැඩවසන කුඩා සාමණේරහිමිවරුන් සමඟ කාලය ගත කිරීමත් සමඟය.

ඉන් පසු වැඩිහිටියන්ගේ ද කැමැත්ත අනුව ක්‍රිෂ්ණමූර්ති පසුගිය පෙබරවාරි මස 20 වනදා පිවිදි දිවියට එළඹුණි.

ඇහැළියගොඩ නැදුරණ චිත්‍රාඇල්ල ශ්‍රී පාද භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ගින්නලියේ රතනසාර හිමි,  

"දැන් බොහොම හොඳ කීකරු ස්වාමින්වහන්සේ නමක් ලෙස ශාසනයට ලැඳිව ඉන්නවා."

පුජ්‍ය පුස්සැල්ලේ කුසලධම්ම හිමි,

"ඊළඟට මම ගුරුවරයෙක් වෙනවා. ඒක තමයි මගේ අධිෂ්ඨානය."