ජනපති අද ජපානයට
May 24, 2023 07:07 am
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (24) ජපානය වෙත ළඟාවීමට නියමිතව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා ඊයේ (23) සිංගප්පූරුව වෙත පිටත්ව ගිය බවය.
සිංගප්පූරුව වෙත ගිය ජනාධිපතිවරයා එහිදී එරට නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පවත්වා තිබේ.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය වෙත පිටත්ව යාමට නියමිත බව සඳහන්ය.
ජනාධිපතිවරයා අද සිට 27 වන දින දක්වා ජපානය තුළ රැඳීසිටීමට නියමිතව තිබේ.
ජපාන නිල සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එහිදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශ්වික සබදතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් කලාපීය හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනීමට නියමිතව තිබේ.
මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි, මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සහ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ යන අය සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ අතර ජපාන නිල සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.