දේශබන්දු ගේ පෙත්සම විභාග කිරීම ඇරඹෙයි

දේශබන්දු ගේ පෙත්සම විභාග කිරීම ඇරඹෙයි

May 19, 2023   03:32 pm

තමන්ට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (19) අභියාචනාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය.

අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එම පැමිණිල්ල ගොනුකර තිබුණි. 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.

එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම සිදුකළේය.

ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ අදාළ පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයාට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ සිතාසිය නීතියට පටහැනි බවය.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 22 වනදා දක්වා  කල් තැබුවේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින කොටුව මහෙස්ත්‍රාත් වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා මෝසමක් ගොනුකර තිබෙන බව දන්වා සිටියේය.

එම මෝසම ප්‍රතික්ෂේප කළ බවත් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා දැනුම්දුන්නේය.