ත්‍රස්ත විරෝධී පනත ට පැටලෙන අය කවුද ?

ත්‍රස්ත විරෝධී පනත ට පැටලෙන අය කවුද ?

April 22, 2023   02:27 pm

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (21) අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරු බැහැදැක තිබුණි.

ඒ, ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සඳහාය.

අධිකරණ අමාත්‍යවරයා ප්‍රථමයෙන් පැමිණියේ මල්වතු මහා විහාරයටය.

එහිදී මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සඳහන් කළේ,

"දැන් බැරිද ඇමතිතුමා.. ඕක හොඳ විද්වත් මණ්ඩලයකට ඉදිරිපත් කරලා සංශෝධන ඇති කරලා නැවත ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට."

"ත්‍රස්තවාදීන්ට නම් ඒ දේ කළාට කමක් නැහැ නීතියෙන්. නමුත් ත්‍රස්තවාදී දේ කළා කියලා නිකං අයව ඕකට පටලවාගෙන ඒ අයට දඬුවම් දෙන්න කටයුතු කරනවා නම් ඒක වැරදියි."

අනතුරුව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා අස්ගිරි මහා විහාරයට පැමිණියේය.

එහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගොඩ ධම්මානන්ද හිමියන්,

"උද්ඝෝෂණ වගේ පසුගිය කාලයේ තිබුණු ඒ කටයුතු බහුතරයක් එකම කණ්ඩායමක්ම තමයි.. ඒ හැම තැනකම පෙනී හිටියා දේශපාලන කණ්ඩායම් වශයෙන්. හැබැයි දැන් මේ පනත් හැදුවට පස්සේ අවශ්‍ය නම් ඒ අයට නැවත නැගී සිටින්න බැරි තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්." 

"මේවා සාකච්ඡා කරලා අදහස් අරගෙන කරන එක හොඳයි. එහෙම නැතුව හිතුවක්කාරී විදියට කටයුතු කරන අය ඉන්නවා. පසුගිය කාලයේ රටේ හිටිය නායකයින්ට කෙළින්ම කියලා තියෙනවා ඕවා මහානායක හාමුදුරුවන්ට පෙන්නන්න ඕනේ නැහැ කියලා. ඔන්න ඕක සම්මත කරන්න දාමු කියලා. එහෙම කියපු අයව අපි දන්නවා."