සීමා ඉවත් කළ පසු සහල් මෙට්‍රික් ටොන් 1900 ක් දිවයිනට
December 12, 2024 05:05 pm
ආනයනය කරන ලද සහල් හැකි ඉක්මනින් මහජනතාවට ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව රේගූව පවසයි.
රේගූ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා අද (12) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
ඒ අනුව මේ වන විට ආනයනික බහලුම් 17ක් ආනයනය කර ඇතැයිද ඒ තුල කැකුළු සහල් සහ තම්බපු සහල් පවතින බවත් එම සහල් තොග හැකි ඉක්මනින් මහජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
"පසුගිය දෙසැම්බර් 4 වැනිදා ශ්‍රී ලංකාවට සහල් ආනයන කිරීමට තිබුණු සීමා රජය විසින් ඉවත් කරනු ලැබුවා. ඒ අනුව සහල් ආනයනය කරමින් පවතිනවා. අද උදෑසන වන විට රේගුවට ආනයන බහලුම් 17ක් නිදහස් කිරීමට ලැබිලා තියෙනවා. එයින් බොහෝ ප්‍රමාණයක් දැනටමත් නිදහස් කර අවසන්. මේ ආනයනික බහලුම් 17 මෙට්‍රික් ටොන් 1900ක් පමණ අඩංගු වෙනවා මෙයින් කැකුළු සහල් සහ තම්බපු සහල් තමයි ආනයනය කරලා තියෙන්නේ. මේ සියලු ම ආනයනයන් ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සිට. මේ සහල් හැකි ඉක්මනින් රේගුවෙන් නිශ්කාෂනය කරලා මහජනතාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා රේගුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අනුව අවම ප්‍රමාදයකින් හැකි තරම් ඉක්මනින් ආනයනකරුවන් තීරුබදු ගෙවීමෙන් අනතුරුව සහ ආහාර පාලක සහ ශාක නිරෝධායන නිලධාරීන් පරික්ෂා කිරීමෙන් පසුව ආනයනකරුවන් වෙත නිදහස් කිරීමට අපි කටයුතු කරලා තියෙනවා."