නීතිඥවරයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

December 12, 2024   04:23 pm

නීතිඥවරයෙකු විසින් ගොනු කෙරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කළේය.

ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා එකවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශක් ප්‍රතික්සේප කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

අචල වෙංගප්පුලි, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. 

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු වන බී.පී.එස්.එම්. පතිරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් නම් කිරීම සඳහා එවක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයින් විසින් ගනු ලැබූ තීන්දුව  ව්‍යවස්ථාවට අනුකූල බවය.

යම් විනිසුරුවරයෙකු ඊළඟ තනතුරට උසස් කිරීමේදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවට බලයක් තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය. 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ නාම යෝජනාව සලකා බැලීමේදී අභියාචනාධිකරණය හමුවේ විභාග වූ 308/23 සහ 377/23 යන රිට් පෙත්සම්වල සඳහන් වූ කරුණු ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ සැලකිල්ලට භාජනය වී තිබෙන බව පෙනී යන්නේ යැයි ද තීන්දුවේ ප්‍රකාශ කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ද සහභාගී වූ එම නඩුකරය පිළිබඳ විභාගයේදී එහි පෙත්සම්කාර පාර්ශවයට වාසිදායක ලෙස එම නඩු විභාගය පවත්වා තිබෙන බව පෙනී යන බව විනිසුරු සූරසේන මහතා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

එසේම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ කරුණු ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සැලකිල්ලට භාජනය වී තිබෙන බවත් තීන්දුවේ සඳහන් විය.

සියලු කරුණු විශ්ලේෂණය කර බැලීමේදී  නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධුරය සඳහා උසස් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයින් විසින් ගනු ලැබූ තීරණය නිවැරදි බවත් ඊට අදාළ සුළුතර තීන්දුව තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

මහජන සුභ සාධනය උදෙසා මෙම නඩුකරය ඉදිරිපත් කළ බව පෙත්සම්කරු විසින් ප්‍රකාශ කළත් ඒ තුළ එවැනි තත්ත්වයක් ගම්‍ය නොවන අතර එය යටි අරමුණකින් යුක්තව ඉදිරිපත් කළ නඩුකරයක් බව පෙනී යන්නේ යැයි ද විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සඳහන් කර සිටියේය.

මෙම නඩුකරය සද්භාවයකින් යුතුව ඉදිරිපත් කළ නඩුකරයක් නොවන අතර එය මහජන යහපතට අදාළ වන බවත් තීන්දුවේ සඳහන් කර තිබුණි. 

ඒ අනුව අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් විසින් කිසිදු ආකාරයකින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර නොමැති බවත් ඒ අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ හිටපු සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, ආචාර්ය දිල්රුක්ෂි අනුලා විජේසුන්දර සහ මහාචාර්ය ඩබ්ලිව් වී.ඒ දිනේෂ සමරත්න යන අයට පෙත්සම්කරු විසින් රුපියල් ලක්ෂ 05 ක් බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බවත් මෙම තීන්දුවේ සඳහන් විය. 

ඊට අමතරව පෙත්සම්කරු විසින් තවත් ලක්ෂ 05 ක නඩු ගාස්තුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී කාර්යාලයේ තැන්පත් කළ යුතු බවත් නියෝග කළ ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම සියලු ගෙවීම් අද දින සිට මාස දෙකක් තුළ ගෙවා අවසන් කළ යුතු බවටත් නියෝග කර සිටියේය. 

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ඉකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එහි සාමාජිකයින් වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සාගර කාරියවසම්,  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කබීර් හෂිම් ඇතුළු 14 දෙනකු නම්කර තිබුණි.

පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටියේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් උසස් කිරීම සඳහා එවක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය නීතියට පටහැනි බවත් ඒ තුළින් අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදුවන බවය. 

ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.