IMF සහනයේ නොදත් කතාව
March 21, 2023 08:26 pm
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව අයදුම් කළ විස්තීර්ණ අරමුදල් පහසුකම සඳහා එහි විධායක මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමිවුණි.
ඒ අනුව ඩොලර් මිලියන 333ක් පමණ වන එහි පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ජාත්‍යන්තර අරමුදල පවසයි.
ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් විස්තීර්ණ අරමුදල් පහසුකමක් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වුණේ ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි මත ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත් අතර ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඊට අදාළ ගිවිසුම එහි විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව මාස 06ක පමණ කාලයකට පසු ඊයේ දිනයේ එහි විධායක මණ්ඩලය අදාළ මූල්‍ය පහසුකම සඳහා මෙලෙස සිය නිල අනුමැතිය ලබාදුන්නේය.
ඒ පිළිබඳ නිල නිවේදනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලැබුවේ මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේදීය.
මේ අනුව මෙරට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිසංස්කරණ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ අරමුදල් පහසුකමක් මාස 48 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට වාරික වශයෙන් ලබාදීමට නියමිතය.
ශ්‍රී ලංකාව ආර්ථික හා මානුෂීය අර්බුදයකින් පීඩාවට පත්ව ඇති බවත් අර්බුදයට පෙර පැවති දුර්වල සහ ප්‍රතිපත්තිමය වැරදි හේතුවෙන් ආර්ථික අභියෝග රැසක් උද්ගතව ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.
ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙලෙස ලබාදෙන අරමුදල් පහසුකම මගින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම මූලික අරමුණ වනු ඇත.
දිළිඳු සහ අවදානමට ලක්විය හැකි සමාජ කණ්ඩායම් මත ආර්ථික බලපෑම අවම කිරීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, පාලනය සහ වර්ධනය ශක්තිමත් කිරීමද ඊට ඇතුළත්ව තිබේ.
විධායක මණ්ඩලයේ තීරණය අනුව ඩොලර් මිලියන 333 ක් පමණ වන එහි පළමු වාරිකය කඩිනම් මුදාහැරීමක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන අතර එමගින් අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගෙන් මූල්‍ය ආධාර ලබාගැනීම දිරිමත් කිරීම අරමුණ වී ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩඒමට නම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවය.
අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වා ගත යුතු බවත් මූල්‍ය ගැලපීම් සාර්ථක වීමට නම්, බදු පරිපාලනය, රාජ්‍ය මූල්‍ය හා වියදම් කළමනාකරණය සහ බලශක්ති මිල පිළිබඳ තිරසාර ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් බවද ඇය පෙන්වා දෙයි.
ප්‍රමාණවත් අයුරින් ප්‍රාග්ධනීකරණය වූ බැංකු පද්ධතියක් පවත්වා ගැනීම සහ උද්ධමනය අඩු කිරීම ඉලක්ක කරගත් බහුවිධ උපාය මාර්ගයන්ට ශ්‍රී ලංකාව කැපවිය යුතු බවද ඇය අවධාරණය කර තිබේ.
දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව දූෂණය මැඩලීමේ උත්සාහයන් අඛණ්ඩව පැවතිය යුතු බව පෙන්වා දෙන ඇය ඒ සඳහා පුළුල් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බවද පෙන්වා දෙයි.
විස්තීරණ අරමුදල් පහසුකම සඳහා අනුමැතිය ලබාදීමෙන් පසු අමෙරිකාවේ වොෂින්ටන්හි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මූලස්ථානයේදී ඒ සම්බන්ධයෙන් වන නිල මාධ්‍ය හමුව මෙරට වේලාවෙන් අද පෙරවරුවේ පැවැත්වුණි.