හිටපු නියෝජ්‍ය ඇමතිට දඬුවම් නියම කරමින් විනිසුරු කී දේ
February 18, 2023 02:34 pm
2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහාය දක්වන්නැයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42ක මුදලක් ලබාදීමේ චෝදනාවට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා මහතාට කොළඹ මහාධිකරණය මාස 6ක සිරදඬුවම් නියම කළේය.
එමෙන්ම ඔහුගේ ප්‍රජා අයිතිය ද වසර 7 කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර තිබුණි.
2010 ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂයා ලෙස ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීමට පොළඹවා ගැනීමේ අරමුණින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42 ක අල්ලසක් ලබාදී තිබුණේ 2010 ජනවාරි 15 වනදාය.
ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් මයෝන් මුස්තාපා මහතාට එරෙහිව අධිචෝදනා ගොනුකර වසර 13 ක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් ඊයේ (17) මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැවසුවේ නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ දුරකථන සංවාද, හඬපට හා CCTV දර්ශන සලකා බැලීමේදී විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවය.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ "80 (1)අ" වගන්තියේ සඳහන් වරද විත්තිකාර මයෝන් මුස්තාපා විසින් සිදුකර ඇතැයි සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.
තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනතා මතය උරඟා බලන ප්රජාතන්ත්රවාදී රටක් වන ශ්‍රී ලංකාවේ නීතී සම්පාදනය කරන ආයතනයක නියෝජිතයෙකු වන විත්තිකරු කළ වරද ඉතා බරපතළ වුවත් ඊට ලබාදිය හැක්කේ සුළු දඬුවමක් නිසා ඒ පිළිබඳව කනගාටුවට පත්වන බවය.