සිසුන්ට පහරදීමේ සිදුවීම ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්
November 7, 2022 08:35 am
බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ පාසලක සිසුන් කිහිපදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කර තිබේ.
ඒ අනුව අදාළ කමිටුවේ නිලධාරීන් කණ්ඩායමක් එම පාසලට ගොස් අදාළ සිද්ධිය පිළිබදව සොයා බැලීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්.රණසිංහ මහතා සඳහන් කළේය.
අදාළ පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු සහ පාසල අයත් මිල්ලනිය පොලිස්බල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එම ළමුන්ට පහර දී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.
සොරකමක් සම්බන්ධයෙන් පාසල් ගුරුවරුන් කිහිපදෙනෙකු එම ළමුන්ට පහරදී ඇති අතර පසුව මිල්ලනිය පොලීසියේ නිලධාරීන් කැඳවා ළමුන් එම නිලධාරීන්ට භාර දී ඇති බව සඳහන්ය.
පොලිස් නිලධාරින් අදාළ ළමුන් පිරිසට අමානුෂික පහර දී ඇති අතර එක් සිසුවෙකු නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද වාර්තා වේ.
අදාළ සිද්ධිය පිළිබඳව දෙමව්පියන් විසින් ළමා ආරක්ෂන අධිකාරියට සිදුකළ පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ එම අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.