පාප් වහන්සේ නියුමෝනියා රෝගයෙන් පීඩාවට
සයුරෙන් එතෙර

පාප් වහන්සේ නියුමෝනියා රෝගයෙන් පීඩාවට

February 19, 2025   09:22 am

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියුමෝනියා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින බවට වතිකානය අනාවරණ කර තිබේ.

මේ අනුව උන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති බව මේ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණි.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගෙවුණු දින කිහිපය පුරා රෝහල්ගතව කාලය ගතකරන්නේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන්ය.

මේ වනවිට උන් වහන්සේගේ පෙනහැලි දෙකේම නියුමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පවතින රෝගී තත්ත්වය හේතුවෙන් පාප් වහන්සේගේ පැවති රෝගී ස්වභාවය තවත් තීව්‍ර සහ සංකීර්ණ වී ඇතැයි රෝහල් බලධාරීන් අනාවරණය කරයි.

ඒ හේතුවෙන් උන් වහන්සේ CT සහ X කිරණ ඇතුළු පරීක්ෂණ කිහිපයකට ලක්කිරීමටත් කටයුතු කර තිබුණි.

ශුද්ධෝත්තමයන් වහන්සේ පසුගිය සතියේ රෝමයේ ජෙමෙල්ලී රෝහලට ඇතුළත් කෙරුණේ බ්‍රොන්කයිටීස් රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.

කෙසේ නමුත් උන්වහන්සේ වඩාත් යහපත් මානසික තත්ත්වයක පසුවන බවත්, යාච්ඥා කිරීම වැනි සාමාන්‍ය කටයුතුවල නිරතව සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබුණි.

එමෙන්ම තමන්ගේ සුව පැවැත්ම වෙනුවෙන් සුබපැතුම් එක්කළ සියලුදෙනාට ස්තූතිය පුද කිරීමටත් උන්වහන්සේ අමතක කර තිබුණේ නැත.