අද උණුසුම වැඩිවෙන ප්‍රදේශ මෙන්න - අවදානයෙන් ඉන්න
February 19, 2025 08:39 am
මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (19) දිනයේත් "අවධානය යොමු කළ යුතු" මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු , උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවය.
මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් විජලනය වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.
මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ලැබෙන උපදෙස් මත පාසල් ආශ්‍රිත ක්‍රියාකාරම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා "අද දෙරණ" කළ විමසීමක දී සඳහන් කළේය.
මේ දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව සහ දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යොමු වීම පිළිබඳව ලැබෙන සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර දිවයිනේ වායු තත්ව දර්ශකයේ අහිතකර තත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසයි.
ඊයේ දිනයේ දී ද මෙම තත්වයේ වර්ධනයක් දක්නට ලැබුණු බව එම සංවිධානයේ පරිසර අධ්‍යාපන දැනුවත්කිරීමේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසීය.
මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.