පිලිපීනය සමග පවතින මිතුදම ඉදිරියට ගෙන යෑමට කටයුතු කරනවා -ජනපති

පිලිපීනය සමග පවතින මිතුදම ඉදිරියට ගෙන යෑමට කටයුතු කරනවා -ජනපති

September 29, 2022   03:02 pm

ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් මහතා අතර හමුවක් අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකනැංග් මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීන ජනාධිපතිවරයා විසින් හරසරින් පිළිගනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී වැඩි අවධානය යොමුව තිබේ.