කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීමට හේතුව සොයා විමර්ශන
April 8, 2025 09:33 pm
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකෙරෙන අතර එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳ ඇතැම් පාර්ශ්ව සැක පළ කරයි.
ඊයේ (07) රාත්‍රියේ කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ලොරි රථයක තිබූ සිලින්ඩර වෙත ගෑස් පුරවමින් සිටියදී සිදුවූ පිපිරීමකින් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්විය.
එම අවස්ථාවේ ඇතිවූ හදිසි ගින්නෙන් තවත් සිව්දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිටි.
ඒ අතර ඉන්ධන පිරවුම්හලට පැමිණ සිටි ත්‍රිරෝද රථ රියදුරකු ද වේ.
කුරුණෑගල පෞද්ගලික කර්මාන්තශාලාවකට අයත් ලොරි රථයක් එහි භාවිත කරන ගෑස් සිලින්ඩර රැගෙන ඊයේ රාත්‍රියේ කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වැහැර IOC ඉන්ධන පිරවුම්හල වෙත පැමිණ තිබුණි.
අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 11.30ට පමණ එහි සිලින්ඩරවලට පිරවුම්හලේ ටැංකියකින් ගෑස් පිරවීම අරඹා ඇති බවය.
කෙසේවෙතත් හදිසියේම එහි පිපිරීමක් සමඟ හදිසි ගින්නක් හට ගෙන ඇත.
ගින්න නිවීම සඳහා වහාම කුරුණෑගල මහනගර සභා ගිනි නිවීමේ රථ එහි රැගෙන එනු ලැබූ අතර පොලිස් නිලධාරීන් ද ඊට සහායට එක්විය.
කෙසේවෙතත් ගින්න පාලනය කරගත හැකිවූයේ අලුයම තුන පමණ වන විටයි.
ඒ වන විටත් ලොරි රථයේ රියදුරු , එහි සහායක, ඉන්ධන පිරවුම්හලේ සේවකයකු මෙන්ම පිරවුම්හලේ කළමනාකරුද ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ඔවුන්ගේ සිරුරු දැඩි ලෙස දැවී තිබුණු අතර ඇතැම් සිරුරු කොටස් ඒ අවට ප්‍රදේශයේ විසිරී තිබෙනු දක්නට ලැබුණි.
මෙම පිරවුම්හලේ පසෙක අලෙවියට තැබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මෙන්ම රථවාහන සඳහා භාවිත කරන ගෑස් විශාල ප්‍රමාණයේ ටැංකියක ගබඩා කර තැබීමද සිදුව තිබේ.
පිපුරුමත් සමඟ විසිවූ එක් ගෑස් සිලින්ඩරයක් යාබද නිවසකට වැදී එම නිවසට හානි වී තිබේ.
සිදුවූ පිපිරීමෙන් සහ හටගත් ගින්නෙන් පිරවුම්හලේ ඉන්ධන බෙදාහරින පොම්පවලටත් හානි ව ඇත.
මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තිබියදීම අද (08) උදෑසන ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ රජයේ රස පරීක්ෂක නිරීක්ෂණයද සිදුකෙරුණි.
කෙසේවෙතත් මෙහි පිපිරුමට හේතුව ගෑස් කාන්දුවක්ද ? එසේනම් එය සිදුවූයේ කෙසේද ? මෙවන් ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රයක අනාරක්ෂිත ලෙස ගෑස් පිරවීමක් සිදුකළේ කෙසේද ? ඒ සඳහා නෛතික අනුමැතියක් තිබුණේද ? යන ගැටලු මේ වන විට මතුව තිබේ.
පොලීසිය සඳහන් කළේ රස පරීක්ෂක වාර්තාව ලැබෙනතුරු ඊට අදාළ අනෙකුත් විමර්ශන සිදු කෙරෙන බවය.