මෙරට ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව චීනය බවට ප්‍රකාශයක්

මෙරට ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව චීනය බවට ප්‍රකාශයක්

July 28, 2022   07:26 am

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු අමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය පවසයි.

එහි ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති විනිවිඳභාවයෙන් තොර අධික පොලිය සහිත ණය වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව වී ඇති බවය.

ඉන්දියාවේ සංචාරයක නිරතවෙමින් සිටින ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ඊයේ (27) නවදිල්ලි නුවර පැවති උත්සවයක් අමතමින් මෙම අදහස් පළ කර තිබේ.

ශ්‍රී ලංකාව චීනයේ ණය උගුලකට හසුවී ඇති බව ද චීන ණය මඟින් ඉදිකර ඇති හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ ආදායම් නොලබන ව්‍යාපෘති බවට පත්වී ඇති බව ද ඇය පෙන්වාදෙයි.

චීනය මේ මොහොතේ සිදුකළ යුතුව ඇත්තේ ණය ගෙවීම සඳහා තවත් ණය ලබාදීම නොව සහනදායී කාලසීමාවකට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකගතාවකට පැමිණීම සමන්තා පවර් මහත්මිය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන්  දුෂ්කරතා අවස්ථාවකට පත්ව ඇති මේ මොහොතේ ඉන්දියාව විසින් ලබා දී ඇති මානූෂීය ආධාර සම්බන්ධයෙන් ඇය ඉන්දියාවට සිය ප්‍රසංශාව පළ කර ඇත.

ඉන්දියාව අතිශය තීරණාත්මක පියවර රැසක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සඳහා කඩිනමින් ගෙන ඇති බව පෙන්වාදෙන සමන්තා පවර් මහත්මිය පවසන්නේ ඉන්දියාව දුෂ්කර අවස්ථාවල දී ලොව පුරා රටවලට සැලකිය යුතු සහයෝගයක් ලබා දී ඇති බවය.

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය බරින් සියයට 15ක පමණ කොටසක් හිමි චීනය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථිකය රඳා පවතිනු බව ද සමන්තා පවර් මහත්මිය වැඩිදුරටත් පෙන්වාදී තිබේ.