පළාත් පාලන ආයතන කිහිපයක සභාපතිවරුන් තෝරාපත් කර ගැනීම අදත්

පළාත් පාලන ආයතන කිහිපයක සභාපතිවරුන් තෝරාපත් කර ගැනීම අදත්

March 27, 2018   01:25 pm




පළාත් පාලන ආයතන කිහිපයක සභාපතිවරුන් තෝරාපත් කර ගැනීම අද(27) දිනයේද සිදු කෙරුණි.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හිමි කර ගත් කැබිතිගොල්ලෑව සහ මැදවච්චිය යන ප්‍රාදේශීය සභා සඳහා අද(27) පැවති ඡන්ද විමසීම්වලදී එම පක්ෂයේම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභාපතිධූරයන් සඳහා තේරී පත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 08 ක්, එක්සත් ජාතික පක්ෂයට ආසන 05 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 02 ක් , මුස්ලිම් කොංග්‍රසයට, ජනතා විමුක්ති පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායමකට එක් ආසනය බැඟින් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ ආසන බෙදී ගොස් තිබුණි.

සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේදී ස්වාධීන කණ්ඩායමේ සභිකයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය ලබාදීම සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයා ඡන්දය ලබා දීමෙන් වැලකී සිටීම හේතුවෙන් පොදුජන පෙරමුණේ මංජුල ටිකිරි බණ්ඩාර මහතා ඡන්ද 09 ක් ලබාගෙන සභාපති ධූරයට තේරී පත්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් සභාපති ධූරයට ඉදිරිපත් වූ ඩබ්ලිව් ධර්මදාස මහතාට ඡන්ද 08 ක් ලැබී තිබුණි.

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එච්.සේනාරත්න මහතා තේරී පත්ව තිබුණේ කුසපත් ඇදීමකිනි.

පසුගිය ඡන්ද විමසීමේදී එම ප්‍රාදේශීය සභාවේ ආසන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 09 ක් එක්සත් ජාතික පක්ෂයට 06 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 03 ක් සහ  මුස්ලිම් කොංග්‍රසයට, ජනතා විමුක්ති පෙරමුණට හා ස්වාධීන කණ්ඩායමකට එක් ආසනය බැඟින් බෙදී ගොස් තිබුණි.

සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනා ඡන්ද 10 බැඟින් ලබා ගැනීම හේතුවෙන් කුසපත් ඇදීමක් සිදු කර ඇති අතර එහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා සභාපති ධූරයට තේරී පත්ව තිබේ.

මේ අතර හලාවත නගර සභාවේ මංගල සභා වාරය ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් කල් දැමීමට වයඹ පළාත් පාලන කොමසාරිස් සී.ඩබ්ලිව්.ජයසිංහ මහතා අද පියවර ගෙන තිබේ.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 07 දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභිකයින් 06 දෙනෙකු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයින් 06 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණෙන් එක් සභිකයෙකු ලෙස සභිකයින් 20 දෙනෙකු හලාවත නගර සභාවට තේරී පත්ව තිබුණි.

නගර සභාවේ මංගල සභා වාරය අද පෙරවරු 08.30 ට පැවැත්වෙන බවට පළාත් පාලන කොමසාරිස්වරයා විසින් තේරී පත් වූ සියලු සභිකයින්ට දැනුම් දී තිබුණද පෙරවරු 08.30ට  සභා‍ව කැඳවූ අවස්ථාවේ සභාව තුළ රැඳී සිට ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 07 දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු පමණක් බව සඳහන්ය.

එම අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් සභාවේ අසුන් ගෙන නොසිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

සභිකයින් 10 කට අඩු සංඛ්‍යාවක් සභාව තුළ සිටීම හේතුවෙන් ගණ පූර්ණය නොමැතිව සභාව පවත්වාගෙන යා නොහැකි බව  පළාත් පාලන කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

එහිදී සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර සභාව තුළ සිටි නිදහස් පක්ෂයේ හිලරි ප්‍රසන්න මහතා  සභාවේ කටයුතු සිදු කරගෙන යාමට විරෝධය පල කළ අතර එක්සත් ජාතික පක්ෂ සභිකයින් සභාව කල් තැබීම පිළිබඳ අප්‍රසාදය පල කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් සභා ශාලාවෙන් පිටත රැදී සිටිමින් සඳහන් කර ඇත්තේ සිදුවූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට සභා ගර්භය වෙත පැමිණීමට නොහැකි වූ බවයි