පාර්ලිමේන්තු මැතිවරණයට නොඑන ප්‍රබලයෝ

පාර්ලිමේන්තු මැතිවරණයට නොඑන ප්‍රබලයෝ

October 10, 2024   08:55 pm

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැතිඇමතිවරු කිහිපදෙනෙකුම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව මේ වනවිට නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (10) සඳහන් කළේ, එම පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස හෝ සන්ධානගතව හෝ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයයේදී තරග නොකරන බවය.

එමෙන්ම පැවැති ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව 'අද දෙරණ මොකද වුණේ' විශේෂාංගයට එක්වෙමින් පැවසීය.

මේ අතර ඉකුත් ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමද විශේෂත්වයකි.

එමෙන්ම පැවැති ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශෙහාන් සේමසිංහ මහතාද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, තමන් එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවය.

මේ අතර සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ෆේස්බුක් සටහනක් මගින් පවසා තිබේ.

ඉකුත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවේ.

කෙසේ වෙතත් ඔහුගේ දියණිය වන චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ල මෙවර මහ මැතිවරණයට සමගි ජන සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතව ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට තරග නොකර, ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවන් පසුබිමක සමගි ජන සන්ධානයෙන් ඉවත්වීමටත්, මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද තීරණය කර තිබේ.