ආපදාවට පත්වූ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන සේවාවක්

ආපදාවට පත්වූ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන සේවාවක්

December 11, 2025   01:33 pm

ආපදා තත්ත්වයන් තුළ දී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විශාල වගකීමක් ඉටුකරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසන්නීය.

පසුගිය දා පශ්චාත් ආපදා අවස්ථාවේදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සිදුකරමින් සිටින මැදිහත්වීම පිළිබඳව සමාලෝඡනය සිදුකරමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

එසේම ආපදා තත්ත්වයට මුහුණපෑ දරුවන්ට මෙන්ම කාන්තාවන්ටද සිය අමාත්‍යාංශය යටතේ විශේෂ වූ උපදේශන සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරිය මෙහිදී වැඩදුරටත් සඳහන් කළාය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය,

"පශ්චාත් ආපදා අවස්ථාව තුළදී කාන්තා සහා ළමා කටයුතු අමාත්‍යාංශයට සහනාධාර සැපයීමට එහා ගිය සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනවා. ඒ තමයි ආපදාවට පත් ප්‍රජාව විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් සුරක්ෂිත කිරීම සහ ඔවුන් මනෝ සමාජය වශයෙන් සවිබලගැන්වීම. අප අමාත්‍යංශය යටතේ කාන්තාවන් සහ දරුවන් දෙගොල්ලම වෙනුවෙන් ක්‍රියාත්මක හොඳ උපදේශන සේවයක් තියෙනවා. රජයේ උපදේශන සේවයේ උපරිම මැදිහත්වීම නැවත මෙම ප්‍රජාවට සාමාන්‍ය ජන ජීවිතයට ප්‍රවේශ වීමට අවශ්‍ය මානසික සූදානම ගොඩනැගීම සඳහා යොදවන්න ඕන.

"මින් පෙර පවුලක් ලෙස තම නිවස තුළ සමීපතමයන්ගේ රැකවරණයේ ජීවත් වූ දරුවන්ට තවදුරටත් එම පරිසරය අහිමි වෙලා තියෙන්න පුළුවන්. තම ස්වාමිපුරුෂයා සමඟ එකට ජීවත්වුණු කාන්තාවන්ට තම සැමියා අහිමිවී තියෙන්න පුළුවන්. ඉදිරියේදී නිසි භාරකාරත්වය අහිමි දරුවන්, මාතෘ මූලික පවුල්, මව්වරුන් අහිමිව පියා ළඟ ඇති දැඩි වන දරුවන් මෙම ආපදාවට පත් ප්‍රදේශවලින් අපිට මුණගැහෙන්න පුලුවන්. ඒ නිසා එම ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන්න. පළාත් පරිවාස දෙපාර්තමේන්තු ආරක්ෂක අංශ අතර සම්බන්ධීකරණය තවත් ශක්තිමත් කරන්න. ක්ෂේත්‍ර නිලධාරීන් දැනටම විශාල වැඩ කොටසක් කරනවා. මේ වෙලාවේ අමාත්‍යාංශයට වග කියනවාට අමතරව ඔවුන්ට එම ප්‍රදේශවල ආපදා කළමනාකරණ සහ සහන සේවා කටයුතුවලට මැදිහත් වෙන්න වෙලා තියෙනවා. 

තමන්ගේ දිස්ත්‍රික්කවල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල විපතට පත් අය වෙනුවෙන් අමාත්‍යංශ බෙදීමකින් තොරව සියලුදෙනා වෙහෙසිලා වැඩ කරනවා. ඒ ගැන හොයලා බලන්න අවස්ථානුකූලව අපිට අනුබද්ධිත නිලධාරීන්ට වැඩ බෙදාගෙන කරන්න උපදෙස් දෙන්න.ඒ අතරම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ඔවුන්ගේ පවුල් මුහුණපා සිටිනා අපදා තත්ත්වයන් පිළිබඳ සොයා බලන්න. ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැමදේම මේ වෙලාවේ රාජකාරියට එහා ගිය ජාතික වගකීමක් සහ පුරවැසි වගකීමක් ලෙස හිතලා කරමු"

මීට අමතරව දැනට සිදුකරමින් පවතින සුබ සාධන කටයුතු, දත්ත රැස් කිරීම්, විශේෂ තත්ත්වයන් කළමණාකරනය කිරීම ඇතුළු කටයුතුවල ප්‍රගතිය අංශ ප්‍රධානීන් විසින් ඉදිරිපත් කළ අතර, එය වඩාත් පුළුල් සහ වේගවත් ක්‍රියාවලියක් බවට පත්කරගැනීම සඳහා වන බාධා හඳුනාගැනීම සහ ඊට විසඳුම් සාකච්ඡා කිරීම ද අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදුවුණි.

මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනයන්හි අංශ ප්‍රධානීන් එක්ව සිටියහ.