මිලියන 650ක වියදමින් ඉදිකළ දඹුල්ලේ කසල කළමනාකරණ අංගනය වැඩ නෑ
September 18, 2025 02:58 pm
දිවයිනේ සම්මාන දිනූ කසල කළමනාකරණ ව්‍යාපෘතියක් වන දඹුල්ලේ කසල කළමනාකරණ අංගනය සම්පූර්ණයෙන් අක්‍රිය වී ඇති බව වාර්තා වේ.
මෙම කසළ කළමණාකරණ අංගනය නැවතීම හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවක ලැබෙන කුණු කසල සියල්ල වනයට මුදාහැරීමට සිදුව ඇත.
ඒ හේතුවෙන් වනඅලි ඇතුළු වනසතුන් කසල ආහාරයට ගැනීමට යොමු වී ඇති බව දඹුල්ලේ ජනතාව පවසයි.
කලක සිට දඹුල්ල නගරයේ ඉවත්කරන ලද කැලි කසල රජයේ රක්ෂිතයට ගෙනවිත් දැමීම හේතුවෙන් විශාල පරිසර විනාශයක් මෙන්ම වනසතුන්ගේ ජීවිත විනාශවීමක්ද සිදුවෙමින් පැවතුණි.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මාධ්‍ය හරහා පරිසරවේදීන් නගන විරෝධතාවයන් සැලකිල්ලට ගෙන දඹුල්ල මහ නගර සභාව මැදිහත්ව මෙම කසල කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණි.
මෙමගින් කාබනික පොහොර නිෂ්පාදනය, රෝහල් අපද්‍රව්‍යය, පොලිතීන් තාප දාහකය සහ මළ අපද්‍රව්‍ය කළමනාකරණය ආදී වැඩසටහන් රැසක් ඉතා සාර්ථකව ක්‍රියාත්මකව තිබුණි.
තවද 'පිවිතුරු අරණ' නමින් මෙය නම්කොට දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ නිරීක්ෂණයට ලක්වූ අතර, සංචාරක කලාපයක් ලෙස නම්කොට අලි ඇතුන් නැරඹීම සඳහා විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන පවා මෙහි ක්‍රියාත්මක විය.
කෙසේ වෙතත් මේ වනවිට එම සියලු කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර, සියලුම කසල නැවතත් දිගම්පතහා රක්ෂිතයට ගෙනවිත් දැමීම සිදුවේ.
මෙලෙස ඇණහිට ඇත්තේ පසුගිය කාලයේ ජපාන තාක්ෂණයෙන් රුපියල් මිලියන 650ක පමණ මූල්‍ය පිරිවැයක් දරමින් ආරම්භ වූ කසල කළමනාකරණ ව්‍යාපෘතියක්ය.
වනඅලින්ට කසළ අංගනයට ඇතුළු වීමට නොහැකි වනසේ සවිකොට තිබූ යකඩ අලිවැට මේ වනවිට කඩාදමා ඇති අතර, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වගාකර තිබුණු උණ වගාව ද සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත.
තවද සංචාරකයන්ට කසළ අංගනය සහ වනඅලින් නැරඹීම සඳහා තිබූ විදුලි වාහන දෙකද මෙහි දිරායමින් පවතී.
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්රී මහතා සඳහන් කරන්නේ මෙය පසුගිය පාලන සමයේ කිසිදු කළමනාකරණයකින් තොරව සිදුකරන ලද ව්‍යාපෘතියක් බවය.
නගරාධිපතිවරයා වැඩිදුර සඳහන් කරන්නේ, කසල කළමනාකරණ අංගනය පවත්වාගෙන යාමට නොහැකි වී ඇත්තේ ඉහළ කළමනාකරණ සේවක පුරප්පාඩු නිසා බවය.
ඒ අනුව ඉදිරියේ දී මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහනගර සභාව එක්ව මෙම ස්ථානය නැවත නිසි ආකාරයට ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇති බව වාර්තාවේ.