පුතා සා පෙළ නිම කර නිවසට පැමිණෙන විට මව ලේ විලක් මැද
May 15, 2024 09:36 am
ගම්පොළ පොලිස් වසමේ පිහිල්ලදෙණිය ප්‍රදේශයේ කාන්තාවක් නිවසක පළමු මහළින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (14) සවස් කාලයේ දී එම අනතුර සිදුව ඇති බවට තොරතුරු ලැබුණු බවය.
මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වූ පිහිල්ලදෙණිය, නාරංවිට ප්‍රදේශයේ පදිංචිව සිටි මනෝරි නිසංසලා හරිස්චන්ද්‍ර නැමති දෙදරු මවකි.
නිවසේ කිසිවෙකුත් නොමැති වෙලාවක එම කාන්තාව විසින් වේලීමට දැමු රෙදි එකතු කිරීමට ගිය අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබේ.
කෙසේවෙතත් ඇය උඩු මහළින් ඇද වැටී ඇති බව කිසිවෙකුත් නොදැන සිට ඇති අතර, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවසට පැමිණි පුතු මව තුවාල සහිතව වැටී සිටිනු දැක ඇත.
මියගිය කාන්තාවගේ සැමියා ඉදිකිරීම් අංශයේ කොන්ත්‍රාත්කරුවෙක් වන අතර, ඔහුද රාජකාරී කටයුතු වෙනුවෙන් උදෑසනම නිවසින් පිටව ගොස් තිබිණි.
නිවසට ඇතුළු වන ගේට්ටුවට හා නිවසේ උඩුමහල එකතු කරමින් යකඩ බට හා තහඩු දමා රෙදි වේලීමට දමන ස්ථානය සකස් කර ඇති අතර, මියගිය කාන්තාව එම ස්ථානයේ රෙදි ගැනීමට ගිය අවස්ථාවේ දී මෙම අනතුරට ලක්ව තිබේ.
විභාගය අවසන් කර නිවසට පැමිණෙන විටත් ගේට්ටුව වසා තැබීම හේතුවෙන් මවට කතා කර පිළිතුරක් නොමැති හෙයින් දරුවා තාප්පයෙන් නිවසට පැන ඇතුළු වීමේ දී මව තුවාල සහිතව වැටී සිටින අයුරු දැක තිබේ.
මියගිය කාන්තාවගේ අනෙක් පුතා සැමියාට තේ රැගෙන ගොස් ඇති අතර, ඔහු පියා සමග වැඩපොළේ නතර වී ඇත.
අදාළ සිදුවීමෙන් පුත්‍රයා දැඩි කම්පනයට ලක්ව ඇති අතර, බොහෝ වේලාවකට පසුව ඔහු පියාට මේ ගැන දැනුම්දී ඇතැයි ද වාර්තා වේ.