යාල වනෝද්‍යානයේ දැවැන්ත වන සංහාරයක්

යාල වනෝද්‍යානයේ දැවැන්ත වන සංහාරයක්

November 27, 2022   09:57 pm

යාල, ගල්ආර ප්‍රේරණ කලාපයේ කැළය කිසියම් පිරිසක් කපා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නිලධාරින් පිරිසක් පිටත් කර හැරීමට තීරණය කර ති‌බේ.

ඔවුන් හෙට (28) කොළඹ සිට පිටත් කර හරින බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය  සඳහන් කරයි.

යාල වනෝද්‍යානයට අයත් ගල්ආර ප්‍රේරණ කලාපය තුළ කිසියම් පුද්ගලයින් පිරිසක් වනාන්තරය හෙළි පෙහෙළි කිරීමේ සිදුවීමක් සම්බන්ධව වනජීවි හා වන සංරක්ෂණ අමාතයාංශයට වාර්තා වී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

එම සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් කර වහාම තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට අද දින (27) පස්වරුවේ උපදෙස් දෙනු ලැබීය.

එම සිද්ධියට කිසියම් නිලධාරියෙක් වගකිව යුතු නම් හෝ කිසියම් නිලධාරියෙක් තම රාජකාරිමය වගකීම පැහැර හැර ඇත්නම් එම නිලධාරියාට එරෙහිව  තදින්ම විනයානුකූල පියවර ගන්නා බව චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවාය.

යාල වන සංරක්ෂක ප්‍රේරණ කලාපයට අයත් බව කියන ගල් ආර ප්‍රදේශයේ අක්කර හතළිහක පමණ වපසරියක් බැකෝ යන්ත්‍ර යොදා කිසියම් පිරිසක් එළි පෙහෙළි කරමින් සිටින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ දින පහක් පුරා සිදුවන එම පරිසර විනාශය පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.

යාල වන සංරක්ෂණ ප්‍රේරක කලාපයට අයත් බව කියන ගල් ආර ප්‍රදේශයේ ඝන වනාන්තර සහිත ප්‍රදේශයක් කිසියම් පිරිසක් විසින් එළි පෙහෙළි කිරීමට පටන්ගෙන තිබුණේ මීට දින 5කට පමණ පෙරය.

දින පහක් තිස්සේ සිදුවන මෙම පරිසර විනාශය පිළිබඳ ගොවීන් පිරිසක් කළ දැනුවත්කිරීමකට අනුව "අද දෙරණ" මාධ්‍යවේදියා අද එහි යන විටත් බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් එම ස්ථානය එළි පෙහෙළි කරමින් තිබුණි.